0. හිතෝපදේශය - තෙකල් සිංහළ රස’රුත් ගුළාව

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


කර්තෘ:  එච්. එම්. ධර්මසේන මහතා.


හිතෝපදේශය - තෙකල් සිංහළ රස’රුත් ගුළාව.

මළභාෂා ගණයෙහි ගැණෙන පාලි (පාළි) සහ සංස්කෘත ශබ්දාර්ණවයන් (පද’රුත්) නූතන අවධියෙහි භූමදානයට සූදානම්ව ඇති සෙයක් දක්නා ලැබෙයි. හේතුව එම භාෂාවන් ප්‍රගුණ කළ පිරිවෙන් අධ්‍යාපනය තුළින් ද ඒවාට නිසි තැනක් නො ලැබීමයි. ලංකාවේ පැරණි අධ්‍යාපනය තුළ ජය කෙහෙළි බැඳි භාෂා ශාස්ත්‍ර අභිබවා නූතන අධ්‍යාපන රටාවන් ආක්‍රමණය කිරීම මීට හේතුවයි. ඒ ගැන සොයන්නෙකු, බලන්නෙකු හෝ විමසන්නෙකු නැති වීම නිසා කොඩියක් කරගෙන කටමැත දොඩන ඊනියා සංස්කෘතියට වැදෙන්නේ ද බලවත් පහරකි.

දෙව්ලොව හෝ බඹලොව හෝ යාමට මඟ හෙළි කරන ලේඛන ප්‍රමාණය අසීමිත වුවත්, සැබෑ ජන සමාජයේ පැවැත්මට අදාළ කෘති සංඛ්‍යාව සීමිත වේ. ලංකාව තුළ බෙහෙවින් ප්‍රචලිතව පැවති, සැබෑ උගතුන්ගේ මුවින් ගිලිහුණ උපදේශයන්ගෙන් පරිපූර්ණ වූ සමාජ දර්ශන නීති සංග්‍රහයන් ලෙස වැජඹුණු ග්‍රන්ථ දෙකකි - පඤ්චතන්ත්‍රය (පංචතන්ත්‍රය) සහ හිතෝපදේශය. මාගේ මෙම ව්‍යායාමය ජීවත්වෙන සැබෑ සමාජයට නව රටාවකින් එම පොත් හඳුන්වා දීමයි. ඒ වෙනුවෙන් මෙහි දී දොරට වඩින්නේ හිතෝපදේශය - තෙකල් සිංහල රසරුත් ගුළාව යි. අතීත වර්තමාන අනාගත යන කාල තුනට ම පොදු බව තෙකල් යන්නෙනුත්, හුදු හෙළය වටහා ගන්නට බොහෝ පාඨකයනට දණිපණි ගෑමට සිදුවෙන නිසා, භාවිත සිංහලෙන් රස සහ අර්ථ දෙක හෙළි පෙහෙළි කිරීම මෙයින් ලැබෙන ඵලය යි. ශ්ලෝක කියවා එකල මෙකල වීම නවතාලනු වස්, කථා සය්යට ම නීති උපදෙස් ඈඳා ඇත.

විෂ්ණු ශර්මන් පඬිවරයා විසින් රචනා කරණ ලද පඤ්චතන්ත්‍රය සේ ම හිතෝපදේශය ද අග්‍රගණ්‍ය උපදේශ ග්‍රන්ථ දෙකකි. හිතෝපදේශය රචනා කළ නාරායණ ශර්මන් තුමා පැහැදිළි ලෙස ම සඳහන් කර ඇත්තේ; පඤ්චතන්ත්‍රාත් කථාන්‍යස්මාද් ග්‍රන්ථාදාකෘෂ්‍ය ලිඛ්‍යතෙ යනුවෙනි. මෙම හිතෝපදේශය පඤ්චතන්ත්‍රයෙහි කථා ආශ්‍රයෙන් ලියන ලද බව එයින් කියැවෙයි. ඇතැම් විට පඤ්චතන්ත්‍රයේ ඌණතා හිතෝපදේශයෙන් විෂ්ණු ශර්මන් පඬිවරයා ම සපුරා ලන්නට ඇතැයි සිතනු ද පිළිවන.

හිතෝපදේශයේ නිර්මාණ කාලය 9 වැනි සියවස දක්වා දීර්ඝ වේ. එම සමාජයේ තොරතුරු ගති පැවතුම් අළලා මෙම ග්‍රන්ථය සැකසුණත්, 21 වන සියවසේ ජීවත්වන්නන්ගේ ලීලා සම්පත්තිය 9 වන සියවසට වඩා වෙනසක් නැති බව පෙනෙයි. ඒ අනුව ඇත්ත වශයෙන් ම සිදුවිය යුත්තේ හිතෝපදේශය පාසල් අධ්‍යාපනය තුළ හස්තසාර ග්‍රන්ථයක් බවට පත් කිරීමයි!

හිතෝපදේශය - තෙකල් (ත්‍රෛකාලීන) සිංහල රස’රුත් (රස-අරුත්) ගුළාව (පොකුර).



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll