මිත්‍ර ලාභය - ලබන මිතුරන්.
දඹදිව මධ්‍ය මණ්ඩලය සරුසාරවත් ප්‍රදේශයකි. එයට හේතුව වූයේ ඒ මැදින් ගලා බස්නා ගංගා නම් ගඟයි. ප්‍රදේශවාසීන් සරුසාර පොළොවෙහි ගං දියෙන් කළ ගොවිතැන් නිසා අත මිට සරු කරගත්තෝ වෙති. පැළලුප් නමින් හැඳින්වුණු ජනාකීර්ණ නගරය මුල්කර ගෙන එවකට වූවන් පාඨලීපුත්‍ර නමින් රාජධානියක් නිර්මාණය කර ගෙන තිබිණි. එහි පාලකයා වූයේ ගුණ නුවණින් සේම බල පරාක්‍රමයෙන් සෙසු රජුන් පැරදවූ අභීත නරපතියෙකි. මෙම නරපතියා දකින්නන් හට ප්‍රිය මනාප වූ අයෙකු නිසා රට වැසියන් විසින් හඳුන්වනු ලැබූයේ සුදර්ශන නාමයෙනි.
සුදර්ශන නරපතියා විවේකීව සිටි මොහොතක කිසිවෙකු විසින් ගායනා කරන ලද ගී දෙකක් අසා ඇත. එම ගී දෙකෙන් කියැවුණේ තම සිතෙහි මුල්ලක කලක් තිස්සේ සැඟ වී තිබුණ අදහසකි. එය මෙසේ ය:
“දෑස් නොපෙනෙන්නා අන්ධයෙකු නොවේ. නියම අන්ධයා නම් ශිල්ප ශාස්ත්‍ර නොදත් පුද්ගලයා ය. ඇස - කණ - නාසය - දිව - සිරුර සහ සිත යන ඉන්ද්‍රියයන්ට ගොදුරු වන රූප - ශබ්ද - ගන්ධ - රස හා ස්පර්ශ හා ධර්ම යන අරමුණු මේ මේවා ලෙස ද ඒවා හට ගන්නේ මේ මේ හේතු නිසා යැයි ද නිරවුල් කර දෙන එකම බලවන්තයා උගත් ශාස්ත්‍රයයි.
පුද්ගලයෙකු විනාශ වෙන්නට තුඩු දෙන ප්‍රධාන කරුණු හතරක් ඇත. පළමුවැන්න, හැඩ වැඩ ඇති රුව ලස්සනෙන් යුතු තරුණකමයි. දෙවැන්න වන්නේ, හිතූමතේ වියපැහැදම් කළ හැකි තරමට උත්සාහයකින් තොරව ගලාගෙන එන ධනය තිබීමයි. තෙවැන්න නම්, ජීවත් වන සමාජය තුළ නායකත්වය සහ අධිපතිකම් දැරීමයි. කාලය වේලාව තැන නොතැන නොබලා විවේකයකින් තොරව කෙරෙන සමාජ ආශ්‍රය සිව් වැන්නයි. මේ එක් එක් කරුණෙන් සිදු වන විනාශය අතිමහත් වන අතර, යමෙකුට එම කරුණු හතරම තිබුණොත් සිදු වෙන තත්ත්වය කෙබඳු වේ ද?”
සිහිනයෙකින් මෙන් ඇසුණු ඒ ගීතයන්හි අදාළ කරුණු කාරණා සකාරණව ඉහළට පහළට දිගට හරහට සිතූ සුදර්ශන මහ රජු හිස අත් බැඳගෙන තමන්ට ම මෙසේ කියා ගත්තේ ය.
“අපොයි දෙයියනේ මං රජෙකු තමා. රජකමුත් කරනවා. අප්‍රමාණ ලෙස සැප සම්පත් සේම ගරු නම්බුත් ලබනවා. ඒවා කොතෙක් තිබුණත් මොකක් ද ඇති පලේ? දරුවන් කියන උන් මෝඩ තකතීරුවන් කොට, උන් මෙලෝ හසරේ ශිල්ප ශාස්ත්‍රයක් දන්නේ නෑ. යන්නෙම නොමඟ. දෙන්නේම ගින්දර. දරුවන් කියන තුන්දෙනා තුන් පැත්තකින් වට කරගෙන අළුගෝසුවන් වගේ මානසික වධ හිංසාවලට පත් කරනවා. කලට වේලාවට ඉගැන්නුවෙත් නෑ. උන් ඉගෙන ගන්නට ඕන කළෙත් නෑ. අනේ හැබෑවට වෙලා තියෙන නස්පැත්තියක මහතක්! මට මතකයි ඔය ගැන උගතුන් කියා ඇති කියමනක්.”
“තමන්ගේ දරුවන් උගතුන් නොවේ නම්, හොඳ නරක වටහා නොගන්නේ නම් එවැනි දරුවන්ගෙන් ලැබෙන සහනය කුමක් ද? ඇස්වලින් කෙරෙන්නේ රූප බැලීම. එහෙත් කණ ඇස්වලින් බලන්නේ අහවල් එකක් ද? ඇස් කියා තිබුණට ලැබෙන්නේ දුක. හිටියට දරුවන් ඔවුන් ශාස්ත්‍රය නොදත් කණ උන් නම් ලැබෙයි ද සැපක්?”
ඔහු තව දුරටත් මෙසේ සිතුවා:
“බිරිඳ නොවැදූ නිසා තමන්ට දරුවන් නෑ. දරුවෙකු උපන්නා නමුත් ඔහු මිය ගියා. ඉන්නවා දරුවෙකු හැබැයි ඔහු මෝඩ තකතීරුවෙක්. මේ තිදෙනා අතරෙත් දරුවෙකු නැතිකමයි, උපන් දරුවා මිය යාමයි තමා වැදගත්. ඇයි? ජීවත්ව ඉන්න එකා මෝඩයෙකු නම් ඔහු කරන්නේම ගොංකම්.”
ඒ විතරක් නම් මදෑ - මෙන්න මෙහෙම කතාවකුත් අසා තිබෙනවා, “මවු කුසයක පිළිසිඳගත් දරුවා උපතක් නොලබා කුස තුළම ගබ්සා වුණොත් ඒක යහපත්. ස්ත්‍රියක් ආශ්‍රය කළොත්නෙ දරුවෙකු ලැබෙන්නේ. එම නිසා ස්ත්‍රියක් සමඟ සම්බන්ධතා නොපැවැත්වීමත් හොඳ වැඩක්. උපතේ දීම දරුවා මළොත් එයත් සතුටක්. උපන්නේ ගැහණු දරුවෙකු නම් එය සැනසීමට හේතුවක්. බිරිඳ දරුවන් නොලබන වඳ ගැහැණියක නම් ඒකත් සැනසීමක්. හටගත් දරුවා බිහි නොවී මව්කුස තුළ සිටී නම් අගෙයි. නමුත් උපන් එකා රූපයෙන් ධනයෙන් ගුණයෙන් කොතරම් ඉහළට ගියත් ශාස්ත්‍ර විද්‍යා නොදන්නේ නම් එය විනාශයට හේතුවක්.”