චෙන්නායි
දුම්රිය පොළ අතුරු සිදුරු නැතිව මහ ජන ගඟකින් පිරී ඇත. ලහි ලහියේ එහෙ-මෙහෙ යන-එන්නන්
ද බඩු මුට්ටු කරට ගත් සේවකයන් ද සිහිපත් කර වන්නේ කඩි ගුලක ස්වභාවයකි.
මැදිරි
හතළිස් හතක් ඈඳා ගත් අධිවේගී කාවේරී විදුලි දුම්රිය මහත්
අභිමානයකින් සවස 6.05 ට 23න්
වන වේදිකාවට සැපත් වූයේ දෙදහසකට නො අඩු මගීන් පිරිසක් බරණැස හෙවත් වාරාණසිය
බලා කැඳවාගෙන යන රිසියෙනි. තම තුරුලට වැද සැනසුම් සුසුම් හෙළන ළමා ලපටි, බාල මහළු මගීන් දෙස කාවේරිය මහත් උදාරයෙන් බලා සිටියාය.
බුද්ධ
ජන්ම භූමීන් සියැසින් දැක වැඳ පුදාගන්නට පේ වුණ 223
දෙනෙකුගෙන් සමන්විත නඩයෙහි මෙවලම් දුම්රියෙහි නිසි ලෙස තැන්පත් කරන්නට නඩේ ගුරු
සේවකයින්ට අණදෙයි. බසයකට හෝ දුම්රියකට නැග ගන්නට එකා පිට එකා වැටී කරණ දැඟලිල්ල ලාංකිකයනට
නො හුරු නො පුරුදු දෙයක් නො වේ. එම ක්‍රමය අනුගමනය කරමින් මාර පරාජයක අපේ වන්දනා
කරුවන් නියැලෙන අපූරුව බුද්ධ බෝසතුන්ගේ ජාත භූමිය වූ දඹදිව දී ද ඇස් පුරා
දැක ගන්නට ලැබිණි.
දුම්රියක
අසුනක් සොයා ගන්නට බලවත් වෙහෙසක් දරා එහා මෙහා පැන දිවයායුත්තේ ලංකාවේ
වුවත් ඉන්දීය දුම්රිය සේවය ගමන් බලපත්‍ර ගන්නා අයට නියමිත මැදිරිය මෙන් ම ආසනය ද
සඳහන් කර දෙයි. අපේ දුම්රිය නැවැත්විය යුතු දුම්රිය පොළ පසු කර ගෙන ගොස් නවතනු
ලැබූවත් වේදිකාවේ සඳහන් කර ඇති අංක වලට අනුව නියමිත මැදිරි නවතාලංනට ඉන්දීය
රියැදුරන් වග බලා ගනිති. ඒ නිසා මගීන්ට පොර කෑමක් අවශ්‍ය නොවේ.
මැදිරියේ
නියමිත ආසනවල වාඩි වූ වන්දනා කරුවෝ ඔවුනොවුන් හඳුනා ගැනීමේ උත්සාහයක නිරත වී
සිටිති. ඇතැමෙක් තම පුද්ගලික ගමන් මළු තැන්පත් කරති. අයෙක් දුම්රිය ගමනට සුදුසු
ඇදුම් ඇඟලන්නට සූදානම් වෙති.