“තමන්ට සතුරුකම් කරන අයවලුන් බහුතරයක් සිටින්නේ තමන් වසන බාහිර සමාජය තුළ නොව ජීවත් වන ගෙදරමය. මනා කළමණාකරණයක් නැතිව දිගට හරහට විය පැහැදම් කර රටට ණය වෙන පියා එක සතුරෙකි. සැමියා හෝ දරුවන් ගැන නොසලකා දුටු දුටු පිරිමින්ගේ දෑතෙහි නැළවෙන මව එක සැතිරියකි. පමණ ඉක්මවා රූමත් අඟ පසඟ නළවන බිරිඳ ද තවත් සැතිරියකි. නූගත් බුද්ධිහීන නොසණ්ඩාල පුතා තවත් සතුරෙකි.”
එක් එක් පුද්ගලයාගේ ගති සිරිත් ඕන එපාකම් විවිධාකාරයි. සිතන්න මේ ගැනත්,
“දෑතේ දෙපයේ හසුරුකුශලතාවයන් නැති පුද්ගලයාට කර්මාන්ත සහ විද්‍යා ආදිය වස විෂ හා සමාන ය. දිරැවීමේ ශක්තිය නැත්තාට අමෘතය වූවත් විෂ ආහාරයකි. කාසි පණම් හිඟ විවේකයක් නැති දිළින්දාට උත්සව සභා හා සංචාර විෂ කරුණු ය. මහල්ලට පෙරාපු රත්තරන් ටිකට සිටින තරුණියන් හලාහල විෂකි.”
ලොකුකම් පසෙකලා යථාර්ථයට මුහුණ දිය යුත්තේ මෙන්න මේ කාරණා නිසා.,
“සියල්ලන්ම පරයන වංශයක් පෙළපතක් කිසිවෙකුට ඇත. තැනක මුදුනා වෙන්නට ඔහු දත කෑවත් ප්‍රධානත්වයට පත් කරගන්නේ දැන උගත් බුද්ධිමත් අයෙකි. වංශවතා ඉවත ලා උගතාට සියල්ලෝම ගරු බුහුමන් දක්වති. දුන්නක් හදන්නට ගන්නේ ඉහළම වර්ගයේ ලීයකි. එහෙත් දුනුදිය නැත්නම් ලීයෙන් පලක් වේ ද?”
මේ ගැනත් සිත යොමු කරන්න - මනාව සිතන්න,
“ඉගෙනීමට ඇත්තේ සීමිත කාලයකි. එය නොසිතා හිතුවක්කාර ලෙස ජීවත් වුණොත් බුද්ධි වර්ධනයක් සිදු නොවේ. උස මහතින් වැඩුණු නූගතා බුද්ධිමතුන් ඉදිරියට යයි. එහෙත් ඔහුගෙන් උපදෙස් ගන්නට කිසිවෙකු සූදානම් නැත. මේ හෙයින් කඳ බඩ මහත් නූගතාට සිදු වන්නේ මඩ වළක එරුණ හරකෙකු සේ බලා සිටින්නට ය.”
සුදර්ශන රජු දිගින් දිගටම පැරැණි කියුම් හා උපදේශ නිදි වර්ජිතව සිතන්නට පටන්ගති. මං රජා බව හැබෑව. ඒත් මගේ දරුවන් මෝඩකමේ අන්තයට ගිය බුද්ධිහීන බත් බැලයන්. මොවුන්ට ශිල්ප ශාස්ත්‍ර ලබා නොදුන්නොත් ඒක මගේ රජකමටත් මදි කමක්. මගෙන් පසු මේ හරක් කෙසේ ද මේ රජය පාලනය කරන්නේ. මෙවන් තකතීරුවන් සැබෑ බුද්ධිමතුන් කරන්නට සමතෙක් ජගතෙක් මේ මිහිපිට ඉන්න එකක් යැ. අප්පා, පුරාණයේ සිටි උගත් බුද්ධිමත් ශාස්ත්‍රඥයන් සමාජ දියුණුවට අදාළ කොතෙක් දේවල් නම් කියා තිබෙනවා ද? මේත් එවන් කීමක්.
“බඩගින්නට කෑම ගන්නවා. පිපාසයට වතුර බොනවා. ඒ එකක්. ශරීරයට අවශ්‍ය විවේකය ලබා ගන්නට නිදා ගන්නවා. ඒත් එකක්. නොයෙක් හේතු නිසා භයට සන්ත්‍රාසයට පත් වෙනවා. ඒකත් තවත් එකක්. කායික අවශ්‍යතාවයන් පිරිමසා ගන්නට මෙන්ම තමන් මිය ගිය පසු හිඩැස පුරවන්නට පුද්ගලයන් අවශ්‍ය නිසා අඹු සැමි ඇසුරු පවත්වනවා. මේ කරුණු කාරණා හතර මිනිසුන්ට වගේම සියළු තිරිසනුන්ටත් පොදු දෙයක්. නමුත් ඒ අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී මිනිසුන් හා තිරිසනුන් අතර පහැදිලි වෙනසක් තිබෙනවා. ඒ තමා මිනිසුන් ඒවා කරන්නේ සදාචාරවත් විදියට, කිසියම් නීති රීති සිරිත් වලට අනුකූලව. හැබැයි තිරිසනුන්ට ඒවා කරන්නට තැනක් නොතැනක් අවස්ථාවක් හෙවිල්ලක් බැලිල්ලක් නෑ. මේ නිසා කිසියම් ක්‍රමයකට අනුකූල නොවී මිනිසුන් එම ක්‍රියා කළොත් ඔවුන් තිරිසනුන් හා සමානයි.”
මෙන්න බලන්න මනුෂ්‍ය චර්යා රටාවන් ගැන කියා ඇති දෙයක්.
“මෙලොව ජනිත වූ සෑම දෙනෙකුම උපතේ ඵලය ලබන්නට නම් යහපත් ක්‍රියාවල යෙදිය යුතු ය. එසේම සමාජයට කරදරයක් පීඩාවක් නොවන අන්දමේ ජීවනෝපාය මාර්ග ඇති කර ගත යුතු යි. අඬ දබර කං කෙඳිරි නැති ගෘහ ජීවිතයක් සකසා ගත යුතුයි. උපන්නා වූ කවරෙකුට හෝ මේ එකක්වත් නැත්තේ නම්, එළු දෙනකගේ බෙල්ලෙහි පිහිටි තනයක් සෙයින් කිසිම පලයක් ගත නොහැකි ය.”