05. හිතෝපදේශය | මිත්‍ර ලාභය | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


“වළවල් හාරා ගල් පර නොකඩවා මහමග යන්නෙකුට නිධානයක් ලැබෙයි. අනුත්සාහයෙන් ඒ පහළ වූ නිධානය ‘මට මෙය යා නොදෙන්නේ ය’ කියා අයිති නොකරගන්නේ නම්, එය ඒකටවත් උත්සාහයක් නොගත්තාගේ කර්මයයි.”

මොකෝ හැමදෙයක්ම ඉබේටම පහළ වෙනව ද?

“කිනම් දෙයක් හෝ සිදු වෙන්නේ උත්සාහයක් තිබුණොත් පමණි. මනස වෙහෙසා භාවනා කළාම ලැබෙනා දෙයක් ඇත. මොකෝ නිදාගෙන සිටින සිංහයාගේ කටට කැලේ ඉන්න සිව්පාවුන් අවුත් පනිනව ද මරාගෙන කාපං කියා. ඒ වගේම උපන් පලියට උගතෙකු ගුණවතෙකු වෙනව ද?”

“උපන් දරුවා උගතෙකු ධනවතෙකු නායකයෙකු කරන්නට උත්පාදනය කළ මව් පියන් සුදුසු අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අභ්‍යාස කර විය යුතුයි. එසේ නැතිව මව් කුසයේ සිට බිහි වූ පමණින් කිසිවෙකු උගතෙකු ධනවතෙකු හෝ නායකයෙකු වෙන්නේ නෑ. උපන් දරුවා ශ්‍රේෂ්ඨයෙකු කළ යුත්තේ මව් පියන් විසින් මය.”

“මව්වරුන් දරුවන් වැදුවාට මදි. ඒ දරුවාට සුදුසු අධ්‍යාපනයක් ලබා දීම මවගෙන් ඉටුවිය යුත්තකි. එසේ නොකරන මව දරුවාගේ පරම හැතිරියකි. දරුවාගේ ශාස්ත්‍ර අධ්‍යයනය උදෙසා පියා අවශ්‍ය කළමණා නොසලසන්නේ නම් ඔහු වෛරක්කාරයෙකි. කෙදිනක හෝ එම දරුවා උගත් වැදගත් අය සිටින තැනකට ගියහොත් ඔහුට සිදුවන්නේ හංසයන් මැදට ගිය කොකෙකු සේ ලැජ්ජාවට පත් වෙන්නටයි.”

තවත් මේ ගැන මෙසේ කිව හැකියි.

“රූපයට සරිලන යොවුන් බව සිත් ඇද ගැනීමට හේතුවකි. ශ්‍රේෂ්ඨ කුලිකයෙකු නම් ගෞරවාදරයට බඳුන් වෙයි. එහෙත් සුදුසු විද්‍යාභ්‍යාසයක් නැති නිකමෙකු වුවහොත් ඔහුට සිදු වන්නේ සුවඳ නැති කැලෑ මල් සේ සමාජයෙන් තුරන් වීමටයි.”

මෙන්න නූගතාට සිදුවෙන මදි පුංචිකම,

“වටිනා රෙදි පිළියෙන් සිරුර වසා ගත්තෙක් සභාවකට පැමිණෙයි. කරේ අතක් මහත රන් ආභරණ, උසස් සභාවක වැජඹෙමින් සිටී. සභාව තුළ කෙරුණ සාකච්ඡාවක දී පිළිතුරක් උපදේශයක් පතා කෙනෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් අසයි. දුන්නා පිළිතුරක්. සභාවෙහි වූවෝ ඔහුට පහර දී පන්නා හරිති. හේතුව කුමක් ද ජැණ්ඩි පහට සිටියට අන්ත මෝඩයෙකු වූ ඔහු නොසුදුසු ගොං කතාවක් කීමයි.”

එසේ දිගින් දිගට ඉස්පාසුවක් නැතිව සුදර්ශන රජතුමා තම පුතුන්ගේ මෝඩකම් ගැනත් කරන මෝඩ වැඩ ගැනත් සිතා බැලුවේ ය. වස ලැජ්ජාවකි. නව නින්දාවකි, මගේ මෝඩ අම්බරුවන් නිසා විඳින්නට සිදු වී ඇත්තේ. මොකක් ද මේකට ගත යුතු පියවර? යි සිතූ රාජ සුදර්ශන තම බුද්ධි සේනාංකය රාජ සභාවට වහා කැඳවීය. බුද්ධි මණ්ඩලයේ ඇත්තන් අසුන් ගැනීමෙන් අනතුරුව සිංහාසනාරූඪ වූ රජු දහසක් බලාපොරොත්තු සිත තුළ අඩව් කස්තිරම් අල්ලද්දී සභාව ඇමතුවේ රාජර්ධියෙන් තොර වූ කනස්සලු ස්වරූපයෙනි.

“මාගේ උගත් බුද්ධිමත් පඬිවරුන් වන තමුන්නාන්සේලා ගරු සම්මානයෙන් පිළිගන්නේ රට පාලනය කරන රජු ලෙස නොව දරුවන් ඇති පියෙකු වශයෙන් බව හෘදයාංගමව ප්‍රකාශ කරනවා. ඉතින් පඬිවරුනි, මං මේ කියන දේ සිහි බුද්ධිය ඇතිව අසා ඒ අනුව සිතා හේතු කාරණා විමසා ම තමයි පිළිතුරු දිය යුත්තේ, මගේ ප්‍රකාශය ඒ තරමටම වැදගත්. ඒ තරමටම අවස්ථානුරූපීයි. මගේ හිතේ ඇති මහමෙර හා සමාන බර කන්ද බිම තැබීම මෙන්ම සුණු විසුණු කර දැමීමේ පුරෝගාමීන් යෝධයන් වන්නේ අන් කිසිවෙකුත් නොව උගත් බුද්ධිමත් තමුන්නාන්සේලා මයි.”

පඬිවරුණි, මෙන්න මේකයි කාරණාව! මං නිසා උපන් පුතුන් තිදෙනෙකු සිටින බව ඔබතුමන්ලා සහ සුද්දෙන් ම දන්නා දෙයක්. කරුමෙ මහත කියන්නේ උන් තුන්දෙනාම හද්දා මෝඩයන් - මෝඩකමෙන් භරිත වෙලා. හරකුන් බඳින්නට ගන්නා කණු හා සමානයි. මෝඩයන් නිසා ගේ මුල්ලකට වෙලා දෙන දෙයක් ගිලලා ඌරන් වගේ හිටිව් කෝ. මොන ඇන්නෑවක් ද මන්දා අතනින් මෙතනින් පැනලා ගිහින් කරන්නෙම අවලං අශික්ෂිත වැඩ. ඉතින් ඒක මගේ රජකමට වටිනා වැඩක් ද? කොහොම ද මං රට වැසියන්ගේ දරුවන්ට යහ මඟ කියා දෙන්නේ?



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll