මේ කාරණාව රාජ්‍ය තන්ත්‍රයටත් නිග්‍රහයක්. ඔන්න ඔය නිසයි මං ඉල්ලා සිටින්නේ මගේ මෝඩ පුතුන්ට නීති ශාස්ත්‍රය ඇතුළු සියළු විෂයාභ්‍යාසයන් කර නැවත උපදවන්නට හැකි උගත් බුද්ධිමත් ප්‍රාඥයෙකු සිටීනම් ඉදිරිපත් වෙන ලෙස, දයා කරුණාවෙන් මං එසේ විමසන්නේ ඇයි? මෙන්න මේ නිසා.
දාමිණියක් මරකත මැණිකක් මෙන් බබලන්නේ රත්රන් එක්කර සාදන අලංකාරයන්ගෙන් පමණයි. මගේ මෝඩ පුතුන් ඔබ තුමන්ලා වැනි හසළ බුද්ධිමතුන් සමඟ ගැවසුණොත් උගතුන් බවට පත් විය හැකි යි.
ඔය කියන තත්ත්වය ගැන මෙන්න මෙහෙමත් අසා තිබෙනවා.
“ලෝකයා දැනගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමා බුද්ධිහීන මෝඩයන් සමඟ සහ සම්බන්ධතා පවත්වන බුද්ධිමතුන් බුද්ධි හීනයන් බවට පත් වීම, ඇයි එසේ සිදු වෙන්නේ? බුද්ධිහීනයාගේ ක්‍රියා කලාපයන් නොදැනුවත්වම බුද්ධිමතුන් අනුගමනය කරන්නට පෙළැඹෙන නිසා. සමාන බුද්ධියක් ඇත්තන් ආශ්‍රය කිරීමෙන් පවත්නා බුද්ධිය වඩා වර්ධනය වෙන්නේ නෑ. හේතුව විශේෂ තර්ක විතර්ක සමාන බුද්ධිමතාගෙන් ඉදිරිපත් නොවෙන නිසා, නමුත් ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් ආශ්‍රය කිරීමෙන් බුද්ධි හීනයා ද බුද්ධිමතෙකු බවට පත් වෙනවා. ඒ කරුණ ගැන මගේ ගෞරවණීය බුද්ධි මණ්ඩලය අවධානය යොමු කළොත් ඒක සැනසීමට හේතුවක්.”
රජුගේ එම දුඃඛාලාපය අසා සිටි සියළු නීති ශාස්ත්‍රයන්හි පරතෙර දුටු බෘහස්පතී හා සමාන විෂ්ණු ශර්මන් යන නාමයෙන් සම්භාවිත මහා පඬිවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.
“දේවයන් වහන්ස! මෙම රාජ පුත්‍රයන්ගේ උපත කුල වශයෙන් ශ්‍රේෂ්ඨයි. ආශ්‍රිත ජනයා රාජ පාක්‍ෂිකයි. කායික හෝ මානසික ආබාධ නැති නීරෝගී වූවන්. උභය කුල පාරිශුද්ධයි. අඩුවකට තියෙන්නේ ක්‍රමාණුකූලව සමාජය හා ආශ්‍රය නොකිරීමයි. ඉතින් මේ කුමරුවන්ට සකලවිධ නීති ශාස්ත්‍රය උගන්වන්නට මට පිළිවන. ඊට තුඩු දෙන හේතු කාරණා මෙහෙමයි.”
“නොසුදුසු තැනක තබන ලද හෝ සිටුවන ලද දෙයකින් කොතරම් උත්සහ කළත් නිසි ප්‍රයෝජනයක් ලබා ගත නොහැකි යි. ඒක හරියට දන්නා තරම් ක්‍රම විධි උපයෝගී කරගත්ත ද, ගිරවෙකු සේ තවකෙකුට කතා කරන්නට උගැන්විය නොහැක්කක් වගෙයි.”
ඒ ගැන පුරාණ බුද්ධිමතුන් විසින් මෙසේත් දක්වා තිබෙනවා.
“ශ්‍රේෂ්ඨ රාජ කුලයක තිරිසන් ගති ගුණ ඇති දරුවන් කෙසේවත් උපත ලබන්නේ නැත. එය හරියට පද්මරාග ජනිත වන පතලක වීදුරුගල් නොහට ගන්නා වගෙයි.”
“ඔන්න ඔය කරුණු කාරණාවන් නිසා දේවයන් වහන්ස! මාස හයක් ඇතුළත දී ඔබ වහන්සේගේ රාජ පුත්‍රයන් තිදෙනා නීති ශාස්ත්‍රයෙහි විශාරදයන් බවට පත් කිරීම මට භාරයි. ඒ ගැන සැක සංකාවක් ඇති කර ගත යුතු නෑ.”
විෂ්ණු ශර්මන් පඬිවරයාගේ එම අභීත පොරොන්දුව ඇසූ සුදර්ශන රජතුමා ප්‍රීතියෙන් පිණා ගොස් ගෞරව සම්ප්‍රයුක්තව මෙසේ කීවේ ය.
මාගේ උතුම් පඬිවරුණි, සමන් මලක වසන පණුවා වූවත් මලත් සමඟ උතුමන්ගේ හිස මතට නගින්නේ අනායාසයෙන්. එසේම දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ගල් ද දේවත්වයෙන් ලා සලකා වැඳුම් පිඳුම් කිරීම සිරිතක්.
ඊටම අදාළ තවත් කිවයුත්තක් ඇත.
උදා හිරු නැගෙද්දී එම හිරු එළියෙන් සිත්කළු දෑ පමණක් නොව, අපවිත්‍ර කුණු කසල දකින්නට ලැබීමයි ස්වභාවය. ඒ අයුරෙන් උතුම් සත් පුරුෂයන් හා එක් වන නීච ජාතිකයන් ද ප්‍රසිද්ධියට පත් වීම ලෝක ස්වභාවයයි.
ගුණයන් කියා සලකන ගුණවත් කම් රඳා පවතින්නේ බුද්ධින්ද්‍රියන් දියුණු කළ ප්‍රඥයන් තුළමයි. එම ගුණයන් බුද්ධි හීන මෝඩයන් කරා යාමෙන් සිදු වන්නේ ගුණවත්කම් නුගුණයන් බවට පත් වීමයි. එය හරියට පානයට සුදුසු ජලය ඇති ගංගාවක් ගලාගෙන ගොස් මුහුදට වැටීමෙන් පානයට නොසුදුසු තත්ත්වයට පත් වීමක් වගෙයි.
පඬිවරුණි, මේ කී නොකී කාරණා අනුව මගේ පුතුන්ට නීතිය ඇතුළු ශබ්ද ශාස්ත්‍රය උගන්වන්නට ශ්‍රීමත් විෂ්ණු ශර්මන් පඬිවරයාට ඉතා කැමැත්තෙන් පවරා දෙමි. ශාස්ත්‍ර දානයේ දී මේ රාජපුත්‍රයා යැයි නොසැලකිය යුතුයි. තමන් හමුවට ආ ශිෂ්‍යයන් ලෙස සලකා ක්‍රියා කිරීමට අවසරය ඇතැයි පැවසූ සුදර්ශන රජතුමා විෂ්ණු ශර්මන් පඬිවරයාට සියළු බුහුමන් දක්වා පුතුන් භාර කළේ ය.
ප්‍රස්තාවනාව අවසානයි.