08. හිතෝපදේශය | ලබන මිතුරන් | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


කතුරු - පිහි - පොරෝ - උදළු වැනි කිසිම උපකරණයක් නෑ. සල්ලි මිළ මුදල් කොයිකත් නෑ. හැබැයි මිත්‍රත්වය යහළුකම ඉහටත් උඩින්. කාගෙද ඒ? කපුටෙක් ඉබ්බෙක් මුවෙක් මීයෙක් කියන හතර දෙනා ළඟ ඉතින් මේ අයට අවශ්‍ය සියළු වැඩ, උපකරණ කිසිවක් නැතිව ඉතා ඉක්මනින් අවසන් කරනවා.

“මොනවා ගුරුතුමා! කොහොම ද ඒ? ” රාජපුත්තු ඇසූහ.

ආ... ඒක ද? ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි දරුවනේ... කී විෂ්ණු ශර්මන් පඬිවරයා කපුටා ඇතුළු මිතුරන්ගේ කථාව මෙසේ හෙළි කළා.

හොඳට අතු පතර බෙදී ගිය කඳන් ඇති සල්ගසක් තිබුණා ගෝදාවරී ගංගාව අසළ. නොයෙක් ප්‍රදේශවල ඇවිද කෑම සොයා යන කුරුල්ලන් ගොම්මන් යාමයේ මේ ඉඹුල් ගසට එන්නේ නිදා ගන්ට - රෑ පහන් කරන්ට. කල් යාමේ දී දවසක් දා එළිවෙන්නට ඔන්න මෙන්න කියා අවස්ථාවක් එළැඹුණා. ඒ මොහොතේ තමා කුමුදු මල් පොබවන සඳ අවර ගිරෙන් බැස යමින් තිබුණේ. ඔන්න ඔය අතරේ අත්තක වසා නිදා සිටි ලඝුපතනක කියන කපුටා අවදිව දෑස් හැර වටපිට බලද්දී දැක්කා මාරයාගේ දෙවැන්නෙකු ලෙස පරීක්‍ෂාකාරීව ඇවිදින වැද්දෙක්. වැද්දා දුටු ගමන් ම කපුටා මෙසේ සිතුවා,

“චිඃ උදේ පාන්දරම ඇහැ ඇරුණ ගමන් අද දැක්කේ පාපතරයෙකු නේ. මොන ගිනි ගෙඩියක් දෙන්න ආවා දැයි කියන්ට බෑ. කෝකටත් සොයා බලන එක හොඳා.” යැයි සිතා වැද්දා පසු පස යන්නට පටන් ගත්තා. කව්ද...? කපුටු ලඝුපතනක්. හරියට හරි! ඇයි එසේ ලඝුපතනක වැද්දා ලුහු බඳිමින් ගියේ.

මෙන්න මේ හේතු කාරණා නිසා,

ඥානවන්තයන්ට කිසිම විටක දුකක් බයක් පීඩාවක් කෙදිනකවත් ඇති වෙන්නේ නෑ. ඒත් බුද්ධි හීන මෝඩයන්ට දුක් විය යුතු අවස්ථා දහස් ගණනකට මුහුණ පාන්නට සිදු වෙනවා. භයෙන් ත්‍රස්තයට පත් විය යුතු අවස්ථා සිය ගණනක්. ඒවා එක්වරක් එක දවසක ඇති වෙන ඒවා නොවෙයි. දවස් පතාම මුහණ දෙන්නට වන කාරණා.

තවත් කිව යුතු දේවල් එමට. විශේෂයෙන්ම පඤ්චකාම සම්පත්වල ඇලී ගැලී සිටින උදවිය වහ වහා කළ යුතු ක්‍රියා මාර්ග මහ රාශියක් තිබෙනවා.

මරණය, ලෙඩ දුක්, කරදර බාධක යන මේවා කිනම් මොහොතක ලැබේදැයි - මුහුණ පාන්නට වේදැයි කිව නොහැකියි. අන්න ඒ නිසා විටින් විට හාත්පස බලමින් ඒවායෙන් මිදෙන්නට මං පෙත් සලසා ගත යුතුයි නොවැ. අන්න ඒ නීතිය අනුව ලඝුපතනක විපරමින් යද්දී දුටුවේ මහා ව්‍යසනයක ක්‍රියාවලියක්. තැනිතලාවකට ගිය වැද්දා සුණු සහල් ගොඩක් බිම අතුරා ඒ මත දැලක් එලුවා. ඉන් අනතුරුව ඔහු කටු අකුලකට මුවා වී සැඟවුණා. ඔන්න ඔය අතරේ අහසේ පියාසර කරමින් ගිය චිත්‍රග්‍රීව නම් පරෙවි රජා විසුරුවන ලද සුණු සහල් දැක්කා. ආහාරය සඳහා සුණු සහල් කෑමට ගිජු පරෙවියන් අමතා චිත්‍රග්‍රීව මෙසේ කීවේ අවවදාත්මකව.

ඒයි කොල්ලනේ බලාපල්ලා මේ පුදුමේ! මිනිස් පුළුටක් නැති මේ කැලෑවේ මෙතෙන්ට පමණක් සුණු සහල් ආවේ කොහොම ද? පළමුවෙන්ම කළ යුත්තේ ඒක පැහැදිළි කර ගැනීමයි. මට නම් මෙය හොඳ දෙයක් ලෙස පෙනෙන්නේ නෑ. මෙම සුණු සහල් කා බඩ පුරවා ගැනීමට ආශා කළොත් ඒක මහා විනාශයකට මුලක්. ඇයි දරුවන් මං එසේ කියන්නේ? මෙන්න මේ නිසා,

දවසක් දා එක්තරා මනුස්සයෙක් කිසියම් අවශ්‍යතාවයක් සඳහා පාරේ ගියා. මඟ අසළ තිබුණා මඬ වළක්. දෙයියනේ ඒ වළේ රන් වළල්ලක් දිලිසෙනවා. ගමන පැත්තකින් තැබූ මඟියා අර රන් වළල්ල ගන්ට බැස්සා වළට - එරුණා මඩේ, දැඟලුවා ගොඩ එන්ට බැහැ. ඔන්න ඔය අතරේ කෑමට සතෙකු මරා ගත නොහැකි වයසක ව්‍යාඝ්‍රයෙක් බඩ ගින්නෙන් පෙළෙමින් ආවා පාරේ. ඉතින් මොක ද ඌ කළේ? “දුවන පනින උන්නේ අල්ලා ගන්නට බැරි, මේ ඉන්නේ වළ ඇතුලේ එරුණ එකෙක්.” කියා පැන්න ගමන් බොටුව හපල දැම්මා. අනේ මඟියා මළා. මස් ටික කොටියාගේ බඩේ!

“අනේ අප්පෝ ඒ කොහොම ද?” යි පරෙවියෝ ඇසූහ. සිද්ධිය අණාවරණය කරමින් පරෙවි රජු මෙසේ කීය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll