කොටියාගේ රන් වළල්ල.
පරෙවි රජා නිසා මං දවසක කැලෑව පරීක්‍ෂා කිරීමෙහි නිරත වුණා. එදා සොයා බැලුවේ දකුණු දිසාව පුරා විහිදුණ වනපෙත. එසේ විමර්ශනයෙහි යෙදෙමින් සිටිය දී දුටුවා අපූරු සිද්ධියක්. ඒ තමා මහළු වයසට පත් ව්‍යාඝ්‍රයෙක් වතුර නාලා විල් තෙරේ ඉඳගෙන කුසතණ ගොඩක් අතේ තියාගෙන කුමක් දෝ මුමුණවා. මාත් ළං වී සවන් යොමා අසා සිටියා. මෙන්න මේකයි එයා කීවේ,
“අනේ පාරේ යන එන මහතුනි, මේ රන් වළල්ල ගන්න.” නොනවත්වාම ඔය බණේ තමයි කිය කියා හිටියේ.
ඔන්න ඔය අතරේ පාරේ ගියා මගියෙක්. එයාට ලෝභ හිතුනා රන් වළල්ලට. නමුත් මෙසේ සිතුවා හිස කසමින්.
“ෂඃ මේ ලැබෙන්නට යන්නේ පෙර කළ පිං පලදීමක්. වාසනාවට පහළ වෙච්ච දෙයක්. නමුත්... ඕක ගන්නට ගිහින් ජීවිතයට අනතුරක් වුණොත්? මේක නම් මහා ගැටළුවක්. විශ්වාස කරන්නටත් බෑ. ඇයි එහෙම හිතෙන්නේ - මෙන්න මේ නිසා.
නරක යැයි සම්මත දෙයකින් කිසිදා හොඳක් හෝ සැපක් ලබාගත නොහැකියි. අමෘතය කියන්නේ දෙවි දේවතාවුන් ප්‍රයෝජනයට ගන්නා පානයක්. නමුත්, ඒ අමෘතයට හෝ වසක් විසක් මුසු වුණොත් පානය කරන හැම දෙනාම මිය යනවා.
ඒ අනුව වුවත් ධනය ඉපැයීමේ පරමාර්ථයෙන් කෙරෙන බොහෝ කටයුතු සැක සංකාවන්ගෙන් පිරිලයි තියෙන්නේ. ඒ ගැන කියා ඇති දේවල් බොහෝමයි. ඉන් එකක් තමා මේ.
කරණ කියන අසන දේවල් ගැන සැකයක් ඇති නොවන්නෙකුට යහපතක් දැකීමට නොහැකියි. ඒ සැකයන් තුළින් ජයග්‍රහණයන් ලැබිය හැකි බැවිනි. මේ හෙයින් යහපතක් අපේක්‍ෂා කරන්නා සියල්ලක් කෙරෙහිම සැකයක් උපදවා ගත යුතු ය.
“ඔන්න ඔය හේතු නිසා පළමුවෙන්ම මං දැනගත යුතුයි ඔබ කියන රන් වළල්ල තිබෙන්නේ කොතැනක ද කියා” යි මගියා හඬ නගා කීවේ ය. එය ඇසූ ව්‍යාඝ්‍රයා අත දිග හැර වළල්ල පෙන්වීය.
“මරුවෙකු වැනි ඔබ කෙරෙහි කොහොම ද මං විශ්වාසයක් ඇති කර ගන්නේ?” මගියා ප්‍රශ්න කළේ ය.
“උන්නැහේ මං කියන දේ හොඳට අහගන්න. තරුණ කාලයේ ඉතා නපුරු ගති පැවතුම් තමා මට තිබුණේ. කළ තරමක් කළේ නොපණත් කම්, මගේ අතත් අප්‍රමාණ ලෙස එළු බැටළු ගවයන් පමණක් නොවෙයි සිය ගණනක් මිනිසුන් ද මැරුම් කෑවා. අපොයි දෙයියනේ ඒ කළ පාපයන්ගේ විපාක මට පඬිසන් දුන්නා. අකාලයේ මගේ දරුවන් මිය ගියා. නොයෙක් රෝගාබාධයන්ගෙන් දුක් විඳ අඹුවන් මළා. මේ නිසා මගේ වංශය සහමුලින්ම වැනසී ගියා. ශෝකයෙන් කම්පාවෙන් පෙළෙමින් සිටි මට ධාර්මිකව ජීවත් වෙන උතුමෙකු මුණගැසුණා. එතුමා මගේ අතීත චර්යාව අසා සිට දුන්නා උපදෙස් කළ පවු භංග කිරීම සඳහා දාන ශීල භාවනා වැනි පුණ්‍ය කටයුතුවල යෙදෙන ලෙස. අන්න ඒ ශ්‍රේෂ්ඨ උපදේශයන් පිළිගෙන දැන් මං කරන්නේ නිතර ස්නානය කිරීමෙන් කළ පව් සෝදා හැරීම, දිය යුතු යමක් ලැබුණොත් එය දාන චේතනාවෙන් පරිත්‍යාග කිරීම. මං දැන් මහල්ලෙක්. සතා සීපාවා මරා කෑමට යොදා ගත් නිය දත් වැටුණු අවසඟ ශරීරයක් ඇත්තෙක්. ඉතින් එබඳු අසරණයෙකු වූ මාව විශ්වාසයට නොගන්නේ ඇයි? ඒ තරමටම ඔබේ විශ්වාසයට මා නොසුදුස්සෙකු ද? බලන්න මේ ධර්ම කාරණාව.”