11. හිතෝපදේශය | කොටියාගේ රන් වළල්ල | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


කිසිම උපකාරයක් නොකළ - නැති අයෙකුට දිය යුතු යැයි සිතා දෙනවා දානයක්. එය වූ කලී නිසි තැනදී නියමිත අවස්ථාවේ දී සුදුස්සාට ම දෙන ලද දානයක් වෙන නිසා මහත්ඵල මහානිසංස නොඅඩුව ලබා ගන්නට හැකියි.

“ඔන්න ඔය හේතු ප්‍රත්‍යයන් ගැන හිතලා මේ විලට බැස නාලා රන් වළල්ල ගන්න” යැයි කී ව්‍යාඝ්‍රයාගේ ඉල්ලීම ඇසූ මගියා ලෝභයෙන් මුසපත්ව බැස්සා විලට. බැස්සා තමා එරුණෙ නැතෑ මඩේ. මඩෙන් ගොඩ වෙන්ට දන්නා තරම් දහිරිය දැම්මා මගියා. මොන, යටටම එරුණා විරව පට්ටම් ගැසී සිටි මගියාට මෙන්න මෙහෙම කියනවා ව්‍යාඝ්‍රයා.

“අනේ අප්පෝ, මගේ දෙයියනේ! ඔයා මඩේ එරුණා නේ ද? චුට්ටක් ඉන්න මං ඔයාව ගොඩටට ගන්නම්.” එසේ කී ව්‍යාඝ්‍රයා හෙමි හෙමින් මඩේ එරුණ මගියා ළඟට කිට්ටු කළා. හෙමින් සීරුවේ අතකින් අල්ලා ගත්තා. ඔන්න එවර මගියා මෙන්න මෙහෙම සිතුවා.

ධර්ම සහ ශාස්ත්‍රයන් ඉගෙනීමත්, වේද වේදාංග හැදෑරීමත් නිසා දුර්ජනයන් තුළ යහ පැවැත්මක් කිසි දාක ඇති නොවේ. ඔවුනොවුන් තුළ පවත්නා ප්‍රකෘති ගතියමයි හැම විටම ඉස්මතු වෙන්නේ. එය හරියට දෙනකගේ දෝන කිරි හැමදාම එකසේ මිහිරි රසයෙන් තිබෙන්නාක් වගේ.

එපමණක් ද, ඊට අදාළ වූ තවත් කියමන් තිබෙනවා.

ඇත්ත ඇති සැටියෙන් නොදන්නා, ඉන්ද්‍රියයන් මෙල්ල නොකරගත් අයගේ සිත් ක්‍රියා කරන්නේ, එල්ලයක් ක්‍රමයක් නැතිව දිය නාන ඇතුන්ගේ හැසිරීම් වගේ. යථාර්ථය සහ ස්වභාවය නොදැන ලෙඩට දුකට බලා ආහාර පාන දී දරුවෙකු බලාපොරොත්තුවෙන් වඳ අඹුවක රැක ගන්නාක් වැනි අමන ක්‍රියාවක්.

අනේ අපොයි මං වගේ මෝඩ හරකෙක්! මාරයෙකු සමාන උපන් ගෙහිම නපුරෙකු වූ මේ ව්‍යාඝ්‍රයා කෙරෙහි විශ්වාසයක් තැබුවා නේ. කරගත් මරිකමක මහතක්. පූර්වයෙහි සිටි පඬිවරුන්ගේ කීම් දැන් නොවැ මට සිහිවෙන්නේ. මේ කියමන කලින් මතක් වුණා නම් මොක ද වෙන්නේ.

හිසේ අංතට්ටු ඇති උන් කෙරෙහිත්, ගංගා ඇල දොළවල් කෙරෙහිත්, දිග උල් නිය ඇත්තන් කෙරෙහිත්, කඩු උල් තෝමර වැනි අවි ආයුධ අත ඇත්තන් කෙරෙහිත්, තම බිරිඳ හෝ අඟර දඟර පාන ගැහැණුන් කෙරෙහිත්, රජු මෙන්ම රජ පවුලේ උදවිය කෙරෙහිත් පණ ගියත් විශ්වාසයක් නම් ඇති කරගන්නට එපා! මරණය දැකලයි මේවා සිහිවෙන්නේ.

එපමණක් නොවෙයි. තවත් උපදේශ තිබෙනවා මෙන්න මෙහෙම.

කවුරුනුත් කරන්නේ තම ඇසට ගැටුණවුන්ගේ අඟපසඟ ගමන බිමන ඇතුළු හැසිරීම් දෙස බලා අනේ හොඳ සීදේවී කෙනෙකුනේ යි තීරණය කිරීමයි. ඔවුන්ගේ ආභ්‍යන්තරික ස්වභාවන් ගැන පිරික්සා බැලීමක් නැත. නමුත් ඇත්තටම සිදු වන්නේ බාහිර ස්වභාවන් යටපත් වී ප්‍රකෘති ගතිය ඔවුන්ට අවශ්‍ය අවස්ථාවල ප්‍රදර්ශනය කිරීමයි.

කොතරම් ලොකුකම් පෑවත් මහාත්මයන්ට ද වරදින තැන් ඇත. මේ තමා ඊට දිය හැකි ලොකුම උදාහරණය:

ගමන් බිමන් කරන්නේ අහසේ, කාන්තියෙන් ඝනාන්ධකාරය පවා දුරු කරයි. රැස් විහිදෙන්නේ දහස් ගණනින්. කෝටි සංඛ්‍යාත තරු පාලනය කරන එකම නායකයා. කව්ද ඒ? අහසේ දිලෙන හඳ. එවන් ශ්‍රේෂ්ඨයාට වුවත් රාහුගේ කටට යන්ට වෙනවා. උපන් ඇසිල්ලේම නළලේ කෙටුණ දේ වළක්වන්නට හැක්කේ මොන ජගතාට ද?

මගියා එසේ බණ දහම් සහ ලෝක ස්වභාවයන් මෙනෙහි කරමින් සිටියදීම ව්‍යාඝ්‍රයාගේ නිය - දත් පහර වැදී මළා. මළ මගියාගේ සිරුරේ කොටස් ව්‍යාඝ්‍රයාගේ කුස තුළ තැන්පත් වුණා. ඔන්න ඔය නිසයි මං “කංකණ ස්‍යතු ලෝභේන” කියා කීවේ. එබැවින් මනා ලෙස නොවිචාරා කිසිදු කටයුත්තක් නොකළ යුතුයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll