12. හිතෝපදේශය | කොටියාගේ රන් වළල්ල | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


මැනවින් සිතා මතලම කරන වැඩක් කළ යුත්තේ ඇයි කියා දෙන්නේ මෙන්න මේ නිසා.

හොඳට දිරවූ ආහාරය, නැණවත් පුතා, තමන්ට අවනත බිරිඳ, නිසි ලෙස ඇසුරු කළ රජු, කල්පනාවෙන් යුතුව කී වචන, විමසා බලා කළ වැඩ කියන ඒවා දීර්ඝ කාලයක් ගියත් වෙනසකට පත් වෙන්නේ නෑ.

ස්වකීය නායක චිත්‍රග්‍රීව පරෙවි රාජයන්ගේ අවවාද අනුශාසනා අසා සිටි දෙකට තුනට නැති පරෙවියෙක් ආඩම්බර ලීලාවක් පා මෙසේ කීවේ ය.

හුහ් බොල බලාපල්ලාකෝ ඒ වංගියේ කියන දේ! නරක කාලයක් උදා වුණොත් වැඩිහිටියන්ගේ උපදෙස් ගන්ට ඕනෑලු. කන්නට දෙයක් අතට ගත්තත් මේක කන්ටදැයි අහන්ට ඕනෑලු. මොන දේ කරන්ට ගියත් ගනිල්ලකො අවසර! වෙන වැඩක් නෑ - කන කෑමත් අප්‍රියා කරන මඟුලක් නෙ මේ.

ඇයි මං එහෙම කියන්නේ. ලෝක ස්වභාවය මෙන්න මේ වගේ පවතින නිසා!

ලෝකයේ තියෙන කෑම බීම ආදී කොයිකත් සැක සංකාවට ඇරුණ ඒවා තමා. ඉතින් ඒවා ගැන හිත හිතා ඉන්නට ගියොත් සිදු වෙන්නේ බඩ ගින්නේ මැරෙන්නට. ඔය ගැන කියා ඇති අපූරු කියමනක් තියෙනවා මෙන්න මෙහෙම.

අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නා, කරුණාවෙන් නමුත් නොවිමසා දොස් නගන්නා, කිසිවකින් සතුටට පත් නොවන්නා, සුළු දෙයටත් කිපෙන්නා, හැම දෙයක් ගැනම සැක කරන්නා, අනුන්ගෙන් යැපෙන්නා කියන අය ජීවිතයේ අන්තය දක්වාම දුක් විඳින පිරිසක්. ඔන්න ඔය වගේ ලොකුකම් පෙන්වමින් අහංකාර පරවසව කරුණු කියා සිටි පරවියාගේ කීම් බස් ඇසූ නඩයේ සියල්ලෝම වෙනතක නොයා එතැනම රැඳුණා හ. ඊට තුඩු දෙන හේතු කාරකය උගතුන් විසින් දක්වා ඇත්තේ මෙසේ ය.

ශිල්ප ශාස්ත්‍ර අධ්‍යාපනයෙන් පරතෙරට ගිය, සිත්හි ජනිත වන සැක සංකා දුරලන්නට තරම් ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෝද ලෝභයෙන් මුළාවට පත් ව විනාශයට යති.

මීටම අදාළව තවත් කියමනක් මෙන්න මෙහෙම දැක් වෙනවා. මොකක් ද බලමු එයින් කියැවෙන්නේ,

ලොව පවත්නා සියළුම විනාශයන්ට මුල ලෝභය. ක්‍රෝධය ඇති වෙන්නේ ලෝභය නිසා. ඒ ලෝභ චේතනාවෙන්මයි කාමය උත්සන්න වෙන්නේ. ඇත්ත යුත්ත වටහා ගත නොහැක්කේ ලෝභය කරන හොල්මන් වලින්. සෑම දෙයකම විනාශයට මූලිකම හේතුවත් ලෝභයමයි. සෑම පාපී ක්‍රියාවක් ම ගැට ගැසී ඇත්තේ ලෝභය කියන ලණුවෙන්.

මේ සිද්ධි කාරණා සම්බන්ධයෙන් තවත් කිය හැකි දේ අප්‍රමාණයි. මේත් එයින් එකක්.

රන් මුවෙකුගේ ඉපදීමක් කිසි දා නොවන්නෙකි. එහෙත් රාම රජු මුවන්ට බෙහෙවින් ඇළුම් කළේ ය. එයට හේතුව කුමක් ද? නරකම නරක කාලයක් ආ විට මිනිසුනගේ මොළය අඤ්ඤ මඤ්ඤ වී කිළුටු වීමයි. ඔන්න ඔය වගේ අස්තර පස්තර වලින් බුද්ධි ප්‍රභාවය පෙන්වූ කට හැකර පාදඩ පරෙවියාගේ කතා බස්වලට රැවටුණ සෙසු පරෙවියෝ සුණු සහල් කෑමට බිමට බැස්සාහ. අනේ අපොයි! උන් සියළු දෙනාම බැඳුණා දැලේ. අනුන්ගේ කීම් බස් අසා දැලෙහි බැඳුණ පරෙවියන් පටන් ගත්තා උපදෙස් දුන් දණ්ඩවාලයාට දොස් පරොස් තියන්නට. මොකෝ එසේ අවලාද නගන්නට හේතුව? ඒ මෙන්න මේ නිසා!

කිසියම් කටයුත්තක දී එහි නායකත්වය ගැනීම නොකළ යුත්තක්. වැඩේ හරි ගියොත් එහි ගෞරවය සියල්ලන් අතරම බෙදී යනවා. නමුත් කළ කටයුත්ත වැරදුණොත් නායකත්වය ගත් තැනැත්තාගේ තමා පතුරු යන්නේ.

තවත් ඒ ගැන මෙහෙමත් කියා තිබෙනවා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll