සංයමයක් නැති ඉඳුරන් ඇත්තෙකු කරන ක්‍රියා වන්නේ ප්‍රතිඵලය විපත්ති සහ කරදර ලබා දීමයි. මේ නිසා සැපතක් බලාපොරොත්තු වෙන්නා කළ යුත්තේ කාර්යයට පෙර ඉඳුරන් දමනය කර ගැනීමයි. ඒ තමා සැපතට ඇති එකම මඟ. ලාභයක් ප්‍රයෝජනයක් ඇති මඟක යාමයි බුද්ධිමතුන් විසින් කළ යුත්තේ.
එකිනෙකා විසින් කරනු ලබන දෝෂාරෝපණ අසා සිටි චිත්‍රග්‍රීව නායකතුමා දැනමුතුකමක් මෙසේ දුන්නේ ය. වහගනිල්ලා කටවල්, මේක ඇවිල්ලා එයාගෙම දෝෂයක් නොවෙයි. මෙන්න ඒකට හේතුව.
ඇතැම්විට කවුරුන් හෝ හිතවත් කමට යම් යම් උපදෙස් දෙනවා. සමහර විට ඒ උපදෙස් ම විපත්වලට හේතුවක් වෙන්නටත් පිළිවන්. කිරි උරමින් සිටින වස්සා බඳිනවා කණුවක. මොකෝ එළදෙන උගෙන් ගැලවුණා කියා පැනල දුවනව ද? නෑ - ඈත් තවත් කණුවක් වගේ වස්සා ළඟින් නොසෙල්වී එතැනම සිටිනවා.
මේ පිළිබදව කිවයුතු දේ බොහෝමයි. මෙන්න එයින් එකක්.
කවුරුන් හෝ විපතට පත් වුවහොත් ඒ විපතින් ඔවුන් ගළවා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා තැනැත්තා තමා නෑයා. ඒත් විපතකදී හේතුව සොයමින් දොස් කියන්නා මොන නෑයෙක් ද? මොන හිතවතෙක් ද? ඌ වාචාලයෙක්.
කා හට හෝ විපතක් ඇති වුණා. වැළ නොකැඩි එනවා දන්න කියන අය විපත බලන්නට. එන එන අය කරන්නේ විපතට හේතු සෙවීම විසාරච්චි කිරීම - දොස් පරොස් කීම විස්මය පළ කිරීම. ඒක බුද්ධි හීන දුර්වල මනස් ඇත්තන්ගේ ගතියක්. අන්න ඒ නිසා මේ විපතේ දී දිරිමත් වෙයල්ලා. කල්පනා කරපල්ලා මේකෙන් ගැළවෙන උපායක්. ඇයි මං එසේ කියන්නේ මෙන්න මේ නීති උපදේශ ගැන හිතලා.
උසස් යැයි සම්මත අයට අනිවාර්යයෙන් පිහිටි ගුණ සමුදායක් තිබෙනවා. ඒවා නම් ධෛර්යයෙන් යුතුව පැමිණෙන විපත්ති වලට මුහුණ පෑමේ හැකියාව, දියුණවක් ලැබෙද්දී උඬගු නොවී ඉවසා දරා ගැනීමේ හැකියාව, සභාවක් ඉදිරියේ චතුර ලෙස අදහස් ප්‍රකාශනයේ යෙදීම, සටනක් පවතී නම් එඩිතරව මුහුණ පෑම, කීර්තියක් ලද විටෙක ඊට අනුකූල සේ එය පිළිගැනීම, ඉගෙනීම කෙරෙහි දැඩි ලෙස ඇල්මක් දැක්වීම යන ඒවා උතුමන්ට අනිවාර්යෙන් පිහිටි ශ්‍රේෂ්ඨ ගති ගුණයි. එපමණක් නොවෙයි.
සිද්ධියට අදාළ තවත් කරුණු තියෙනවා මෙන්න මේ වගේ.
මව්වරුන් සිවිඩ්ඩෙන් කොස් ඇට පන්නන්නා සේ අප්‍රමාණ ලෙස දරුවන් වදනවා. නමුත් යමෙකුගේ සැපතක් දුටු විට සතුටු වෙන, විපතක් වූ කල එයින් දුකට පත් වෙන, යුද්ධයක දී බියක් නොදක්වන, තුන් ලොවට තිලක බඳු වූ එවැනි පුතුන් බිහි කරන මවුවරුන් දැකගත හැක්කේ කලාතුරකින්.
තවත් ඉදිරිපත් කළ හැකියි ඔය ගැන හේතු සාධක.
සෑම අයෙකුම උපරිමයෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙනවා. ඒත් ඔවුන් වෙළාගෙන ඇති අකල් නින්ද, පසු බටවීම, භය, තරහව, කම්මැලිකම, වැඩ දිග්ගැස්සීම අත් හරින්නේ නෑ. එබන්දන්ට කොහෙද සැපයක් ලැබෙන්නේ?
කවුරු කවුරුනුත් අසා ගන්නවා මං කියන දේ හොඳට නිවැරදිව. හැම දෙනාගේම සිත්වල තරයේ තියාගන්ට ඕනෑ මේ මාරක අනතුරෙන් ගැළවිය යුතුයි කියන අධිෂ්ඨානය. මගේ අණ නිකුත් වීමත් සමඟ කිසිවෙකුත් අහු නොවී ඉගිලෙන්නට ඕනෑ දැලත් අරගෙන.
“පැහැදිළියි ද? - පැහැදිළි යි.”
මෙන්න මේ නිසයි එසේ කළ යුත්තේ.
සුළු සුළු දේවල් එක්වෙලා තමා විශාල දේ නිර්මාණය වෙන්නේ. අප සියළු දෙනාම එක්සත්ව එක්සිත්ව එකට වැඩ කළොත් ජයග්‍රහණයක් මිස පරාජයක් ලැබෙන්නේ නෑ. හේතුව, තණකොළයෙන් තණකොළය එක්කරලා එකට තබලා තමා ලණු අඹරන්නේ. ඒ ලණුවලින් ඇතුන් බඳිනවා. ඒ කියන්නේ එකට එක් වීමෙන් ලැබෙන බලය අප්‍රමාණයි. තමන්ගේ පවුලේ පඳුරේ අය ටික දෙනෙකු වෙන්නට පිළිවන්. නමුත් ඒ ටික දෙනා එකට එක මතයක එක් වුණොත් තම පවුලට ලොකු බලයක් ශක්තියක් ලැබෙනවා. වී ඇටය පැළ වෙනවා. පැල වියෙන් අස්වැන්න වැඩි වෙනවා. නමුත් වී ඇටේ පොත්ත ඉවත් කළොත් හාල් ඇටය පැළ වෙනවා ද? සම්බන්ධතාව බැඳීම කියන්නේ ඒකට තමා.