16. හිතෝපදේශය | කොටියාගේ රන් වළල්ල |

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


මස් මළ මුත්‍ර ඇට ආදියෙන් හැදී වැඩී ඇති මේ ශරීරය කවදා නමුත් විනාශ වෙනවා. ඒ නිසා මා කෙරෙහි ඇති ඇල්ම හිතවත්කම ඇත්තක් නම් මේ අවසාන මොහොතේ ඉල්ලා සිටින්නේ මගේ නම්බුව ගෞරවය ආරක්‍ෂා කර දෙන ලෙසයි. මිත්‍රයෙකු වශයෙන් මේ ගැනත් සිතා බලන්න.

නිතර කැත කුණු වැගිරෙන ස්ථිරතාවයක් නැති මේ සිරුරෙන් අමිල වූ කීර්තියක් ලබා ගත හැක්කේ නම්, ජීවිතය මෙතෙක් කල් පවත්වා ගෙන ගියාට වඩා ලැබෙන ශාන්තිය ප්‍රමාණයක් කළ හැකි ද? ඇයි මං එසේ කියන්නේ, මෙන්න මේ හේතු ප්‍රත්‍ය නිසයි:

ශරීරය හා ශරීරය දරන්නාගේ ගුණයන් අතර ඇත්තේ විශල පරතරයක්. ගුණයන් ඇති සිරුරු හිමියන් සිටින්නේ අතළොස්සක් පමණයි. සිරුර වූ කලී කෙදිනක කිනම් මොහොතක නැතිවේ දැයි කාටවත් කියන්ට බැහැ. එහෙත් සිරුර හිමියාගේ ගුණ කාලාන්තරයක් තිස්සේ රැව් පිළිරැව් දෙනවා.

හිත මිත්‍ර චිත්‍රග්‍රීවගේ අදහස් අසා සිටි හිරණ්‍යක අතිශයින් ප්‍රසාදයට පත් විය. ඔහුගේ සිරුරේ ලොම් කෙළින් විය. මිත්‍රයෙකු වශයෙන් ආඩම්බරයට ද පත් විය. එසේ සතුටු සාගරයේ කිමිදෙමින් මී රජු මෙසේ කීය.

“මගේ මිත්‍රයා ශ්‍රේෂ්ඨයෙක් - විශිෂ්ටයෙක් - උත්තමයෙක්. තම හිතවතුන් උදෙසා පණ පුදන්නට සූදානම් ඔබ තුන් ලෝකයේම නායකත්වය දරන්නට තරම් වන සුදුස්සෙක්. මිත්‍රයා, ඔබේ පමණක් නොවෙයි සහචරයන්ගේ බැමි කපා දමන්නට තරම් ආවේගයක් ශක්තියක් බලයක් දැන් මට ලැබී තිබෙනවා.” යි කී හිරණ්‍යක මූෂික රජතුමා සියල්ලන්ගේ බැමි කපා හැර බන්ධනයෙන් මුදා ගත්තේ ය. ඉන් නඅතුරුව හිරණ්‍යක සියල්ලන් හට ම ආදර සංග්‍රහයක් පවත්වා මෙසේ කීය.

“මගේ ගෞරවණීය මිත්‍රයාණෙනි, ඔබ සියල්ලන්ම දැලේ බැඳුනේ අහම්බයකින් නොවෙයි විය යුතුව තිබුණ නිසා. එහි වරද ඔබ මත පටවා ගන්ට එපා. තමන්ට තමන් ම දොස් පවරා ගන්ටත් එපා. ඇයි මං එසේ කියන්නේ මෙන්න මේ නිසා.”

මෙලොව ජීවත් වෙන සෑම පක්‍ෂියෙකුට ම යොදුන් සිය ගණනකට එපිටින් ඇති ආහාර වර්ග පෙනෙනවා. නමුත් නරක කාලය උදා වූ විට පය අසළ ඇති මළපුඩුව පෙනෙන්නේ නෑ. අපි මොක්කු ද? මේ බලන්න මහ උන්දැලාටත් වෙන හදි.

උඩාවකාසයේ සැරිසරන සඳ හිරු දෙදෙනාටත් ඇති වෙනවා ග්‍රහ අපල. ඇතුන්ගේ සහ නයින්ගේ සම්බන්ධතාව විශ්වාස කළ හැකි ද? මහා ප්‍රඥයන්ගේ හිඟනකම යන මේවා දැකීමෙන් වටහා ගත යුත්තේ ඉරණමේ තරමයි.

තවත් තියෙනවා කියන්ට නොයෙක් චූර්ණිකා මෙන්න මේ වගේ.

අහසේ එක් පැත්තක පියාසර කරන පක්‍ෂීනුත් විපතට පත් වේ. මසුන් ඇල්ලීමේ සමත් ධීවරයන් ගැඹුරු රළපහරින් වද දෙන මහා සමුද්‍රයෙන් මාළු ඇල්ලීමෙහි යෙදේ. මේ ලෝකයෙහි පවත්නා දුශ්චරිත හැසිරීම කුමක් ද? සුචරිත හැසිරීම කෙබඳුද? උපද්‍රව රහිත තැනක් ලැබිණැයි කියා ලැබෙන ලාභය කුමක් ද? විපත් කරදර නමැති අත් දිගු කර ගත් මාරයා කොතැනක සිටියත් තමන් ළඟට ඇද ගැනීමයි සිරිත. කොටින්ම කියතොත් අහසේ හෝ දිය යට සිටියත්, විනීත හෝ අවිනීත වුවත් සෑම අයෙකුටම මරණය ඒකාන්තයි.

මෙසේ ඇයි හොඳයි කම් පවත්වා සම්භාෂණයෙහි යෙදී අවසානයෙහි ආගන්තුක සත්කාර ද පවත්වනු ලැබිණි. අනතුරුව මී රාජ හිරණ්‍යක පරෙවියන් සියළු දෙනාම වැළඳගෙන ගම්රටවල් බලා යාමට අවසර දුන්නේ ය. චිත්‍රග්‍රීව සහචරයන් සමඟ තම පුරුදු දේශයට ගිය අතර, හිරණ්‍යක සිය ගුළ තුළට වැදුණේ සැනසුම් සුසුම් හෙළමිනි.

මෙම අපූරු සිද්ධිය දැනගත් වියත්හු ආශිර්වාදාත්මක උපදේශයක් මෙසේ ප්‍රකාශ කළ හ.

කවුරුන් නමුත් කළ යුත්තේ සිය ගණනින් මිතුරන් ඇති කර ගැනීමයි. මී මිතුරා නිසා පරෙවියනට සුවසේ ගැළවෙන්නට හැකි වුණා වගේ අවස්ථානුකූලව දැන් ඉතින් සිද්ධිය ගළපා බලමු.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll