කළ දේ පල දේ.
මගධ දේශයෙහි තිබුණා මහා ඝන කැලෑවක්. ඒක හැඳින්වුණේ චම්පකවතී යන නමින්. මෙම කැලෑවේ බොහෝ කාලයක සිට දැඩි මිත්‍රත්වයෙන් කල් ගත කළා මුවෙකු සහ කපුටෙක්. තැන තැන දුව පැන ඇවිදින පැහැපත් සිරුරක් ඇති අලංකාර අං තට්ටුවකින් සැරසුණ මුවා අහම්බයෙන් දැක්කා සිවලෙක්. මුවා දුටු සිවලා මෙවන් කල්පනාවකට වැටුණා.
“ෂඃ අපූරුයි රසවත් කෑමක්. මසත් මෙලකට ඇති. මුගෙ මස් කෑල්ලක් කවදා කොහොම කා ගන්ට ද? හොඳයි, මස් කන්ට අල්ලා ගන්ට එපායැ. නරියන් කවදා ද මුවන් මැරුවේ. කා ගන්න එක පස්සෙ කෙරෙන වැඩක්නෙ. පළමුවෙන්ම කළ යුත්තේ මේ මස් ගොඩත් එක්ක විශ්වාසයක් ඇති කර ගැනීමයි. විශ්වාස වෙලා උපක්‍රමයක් යොදලා බඩ පැලෙන්නට ම දෙන්නම් බැටේ” කියා හිතාගෙන මුවා ළඟට ගොස් ගරු සරුවෙන් කතා කළා.
“ආයුබෝවන්ට, මං කීප දොහක්ම දැක්කා තමුන්නැහැ බොහොම ප්‍රීතියෙන් දුව පැන ඇවිදිමින් ව්‍යායාම කරන අපූරුව. බොහොම අගෙයි, ඇඟ පත හදාගන්නට කියාපු බෙහෙත තමා ව්‍යායාමය! ඉතින් ඉතින් කොහොම ද සැපදුක් කාරිය? ලෙඩක් දුකක් එහෙම නෑ නොවැ?”
“හ්ම්... හැබෑටම ඔබ කව්ද? මීට පෙර මං දැකලා නෑ නොවැ. ඔය ඇත්තා මේ අඩවියේ අඩි කඩනවා” යි මුවා ඇසුවේ සිවලාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමසුම් දෑස යොමු කරමින්.
“ආනේ ඇත්ත නේන්නම්. මාව හඳුන්වා දුන්නෙත් නෑනෙ. මගේ පියාණන් දෑ මට නම තබලා තියෙන්නේ ක්‍ෂුද්‍ර බුද්ධි කියලා. ඔය අපේ එකාලා මට අමතන්නේ ක්‍ෂුද්‍රයා කියා.”
“ඉතින් මේ කොයිබ යන ගමන් ද මාව මුලිච්චි වෙන්ට ආවේ?”
“අර පෙනෙන කැලෑවේ තනිවම ඔහේ ජීවත් වෙනවා. අම්ම අප්පා මළා. නෑයන් කියන්ට එකෙකෙු නෑ. මාත් ඉතින් පණ ගිය මළකඳක් වගේ තමා ආයුබොවන්ඩ! ඒත් දැන් තමුන්නැහැ දැන හැඳින ගත් නිසා මළවුන්ගෙන් නැගිට පියෙවි ලොවට ආවා වගේ අප්‍රමාණ සතුටක් දැනෙනවා. දැන් ඉතින් මට හැකියි තමුන්නැහේ එක්ක එකතු පාදා වෙලා හැසිරෙන්ට!”
“හොඳා හොඳා මගේ මොකෝ, ඉන්න එකයි ඇත්තේ ඔය තියෙන්නේ ඕන පදං ඉඩ ඝණ වනාන්තරේ නෙ.”
පෙර පරිදිම හිරු බැස ගියේය. හතර වටින් අඳුර පාත් වෙන්නට විය. නවාතැනට යමින් සිටි මුවා පසු පස සිවලා ද ගියේ ය. මුවා නිදන්නේ සපුගස් බෙණයක. ඒ ගසෙහි අත්තක මුවාගේ දීර්ඝ කාලීන මිත්‍රයෙකු වන සුබුද්ධි යන නම් ලද කවුඩෙක් වාසය කරයි. ඔහු සමීපයට ආ මුවා සහ සිවලා දැක මුවාගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.
“මිත්‍රයා... ඔබත් සමඟ ආ මේ දෙවැන්නා කවු ද?”
“ආ මේ හිවලෙක්නේ. මාත් එක්ක මිත්‍ර වෙන්ට ඕනෑ කියලනේ ඔය ආවේ.”
“මේ මේ යාළුවා, ඔය නන්නත්තාරෙ ආ එකාල සමඟ මිත්‍රකම් පැවැත්වීම ඇඟට ගුණ නෑ. ඇයි අහල නැද්ද මේ නීති නිබන්ධය?”
තමන් හමුවට අවුත් ඇයි හොඳයි කම් පාන්නට යමෙකු උත්සාහවත් වුවහොත් පළමුවෙන්ම සොයා බැලිය යුත්තේ ඔහුගේ කුල පරම්පරාව සහ සිරිත් විරිත් පිළිපදින ක්‍රමය ගැන. හරි හමන් විදියට ඒවා හෙළි පෙහෙළි නොකරන කිසිවෙකුට නවාතැනක් නොදිය යුතුයි. නිවසකට වද්දා ගැනීම ඉතා භයානකයි. ඇයි එසේ කියන්නේ, බළලෙකුගේ වරදින් ජරද්ගව කියන ගිජුලිහිණියා මැරුම් කෑවා.
“ඉඳා කෝ මොකක් ද අප්පේ ඒ කතාව?” යැයි මුවා සහ සිවලා එකවර ඇසූහ. එවර කපුටා, ගිජුලිහිණියා බළලා සහ කුරුල්ලාගේ කථාව මෙසේ කියන්නට පටන් ගති.
භාගිරති ගංගා තීරයෙහි පිහිටි ගිජු කුළු පර්වතයෙහි විශාල පළොල් ගසක් තිබිණි. ඒ ගසේ බෙණයක ජරද්ගව නම් ගිජුලිහිණියෙක් වාසය කළේ ය. අනේ මේ ගිජුලිහිණියාගේ දෑස් අන්ධ වුණා පමණක් නොව නියද වැටීමත් නිසා කල්ගත කළේ ඉතා දුක්මුසු අයුරෙනි. එහෙත් ඒ ගසේ විසූ සෙසු පක්ෂීන් සිය ආහාර වලින් ටික ටික එකතු කර අසරණ ගිජුලිහිණියාගේ සා ගින්දර නිවා දමනු ලැබීය. ගිජ්ජාගේ දිවි ගැට ගැසුණේ ඔය අයුරෙනි.
එසේ කල් යමින් තිබිය දී දිනක දීර්ඝකර්ණ නමින් හැදින් වුණ බළලෙක් ගසේ වසන කුරුලු පැටව් කන්නට ආවේ ය. බළලාගේ පැමිණීම දුටු කුරුලු පැටව් බියෙන් තැතිගෙන එහෙ මෙහෙ පනිමින් දුක් අඳෝනා නගන්නට වූහ. මේ හඩ හා ශබ්ද අසා සිටි ගිජ්ජා මෙසේ කීය.
“කවුද ඔය එන්නේ - කාව හමුවෙන්නට ද?”
දීර්ඝ කර්ණයා ගිජුලිහිණියා දැක බියට පත්ව මොර ගාමින් කටෙන් පිට කළ දේ මෙවැන්නකි.
අයියෝ විනාශයි මං නැසුණා - මේ ගිජු ලිහිණියාට අසුවුණොත් මං කපෝතියි. ඒත් නීති පොතේ හැටියට කාට හෝ බියක් තැති ගැන්මක් ඇති වෙන්නට පෙර භය කියන බියට භය විය යුතු ය.
නමුත් කිසියම් භයක් පැමිණි පසු බියෙන් ගැල වෙන්ට සුදුසු දේවල් කළ යුතු ය.