දැන් ඉතින් තකහනියේ කළ යුත්තක් නෑ. ගිජු ලිහිණියාට හොඳට ම ආසන්නයි - පැනගන්ට හැටියක් නෑ. වෙන දෙයක් වෙච්චදෙන්. කළ යුත්තේ මූත් සමඟ මිත්‍ර වීම. විශ්වාසය ඇති කර ගැනීම. යන්ට ඕනෑ ළඟටම සිතා ලිහිණියා වෙත ගොස් මහත් ගෞරවයෙන් මෙසේ කීවේ ය.
“උතුමාණෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!”
“උඹ කව්ද?” ගිජ්ජා ඇසීය.
“උතුමාණෙනි, මං බළලෙක්”
“පල යන්ට අහකට - දූරින් භූත වෙයන්. එසේ නොගියොත් තොට අත් වෙන්නේ මරණය”
“අනේ පිං කරණ උතුමාණෙනි, මා කියන්නක් පළමුව අසනු සේක්වා! මං කියන දේ අසා ඔබ වහන්සේ තීරණය කළොත් මාව මරාදාන්ට. මං සතුටින් ඊට මුහුණ දෙනවා. මේ අප්‍රමාණ දුක් ගිනි උහුලනවාට වඩා නාකයැ ඔබ වහන්සේ අතින් මැරුම් කාලා දිව්‍ය ලෝකයට ගිහින් සැප විඳින එක! ඇයි මං එසේ කියන්නේ:
ජාතිය ගැන හිතලා කවදා කොතැන ද කවුරුන් හෝ මරා දැම්මේ? ඒ වගේම පුදනු ලැබුවේ. එහෙම නොවෙයි හොඳ නරක දෙක ගැන දැනගෙන තමා මරා දැමිය යුත්තේ හෝ පිදිය යුත්තේ.”
“හා හා ඇති ඇති උඹෙ පට්ටන්තරේ කියහං බලන්ට ආවෙ අහවල් කාරියකට ද කියලා.” යි ගිජු ලිහිණියා ප්‍රශ්න කළා.
“ආයුබොවන්ඩ, මං මේ ගං තෙරට වෙලා නිතර නා කියාගෙන මස් මාළු නොකා බ්‍රහ්මචාරීව චන්ද්‍රායණ වෘතය රකිමින් සිටින උපාසකයෙක්. ඔබ වහන්සේ වැඩ වසන මෙම මහා ධර්ම මන්දිරය ධර්මයෙහි හැසිරෙන්නට පංකාදු තැනක් කියා වටාපිටාවේ සැරිසරණ කුරුල්ලන් නිතරම පාහේ මාත් එක්ක කියන දෙයක්. අප්පා බලන්ට එපායැ ඒ ඇත්තන් තමුන්නාන්සේ ගැන දක්වන ගෞරවය. භක්තිය. ඉතින් මාත් කල්පනා කළා වයසින් වගේම ප්‍රඥාවෙන් අගතැන්පත් ඔබ වහන්සේගෙන් බණ පදයක් අසා ගන්නට ලැබෙනවා නම් කොයිතරම් භාග්‍යයක් ද, පින් කඳකගෙන් ලැබෙන අවවාද අනුශාසනා පණ පිටින්ම දිව්‍ය ලෝකයට යන්නට තරම් හේතු වාසනා ඇති වෙන ඒවානේ කියා. අන්න එහෙම හිතලයි බණ පදයක් අසා ගන්ට මං ආවේ. ඉතින් එවන් උතුමෙකු වන ඔබ වහන්සේ අමුත්තෙකු වූ මාව නසා දමන්ට උත්සාහ කිරීම මහා ප්‍රහේළිකාවක්. මට නම් හිතෙන්නේ ඒක උපතින් ලැබුණ ගතියක් කියලයි. ඒ මෙන්න මේ නිසා ස්වාමිනී.
නිවසට ආ සතුරාට වුවත් නිසි ලෙස ආගන්තුක සත්කාර කිරීම මහාත්මයන්ගේ ගතියක්. සිරිතක්. මහා ගසක් තිබෙනවා. එය කවරෙකු හෝ කපා දමමින් සිටිනවා. ගසේ සෙවණැල්ල වැටී ඇත්තේ ගස කපන්නා පැත්තට. එයින් කපන්නාගේ දහඩිය මහන්සිය තුනී වෙනවා. මාව කපන නසන එකාට මොකට ද හෙවණැල්ල දෙන්නේ කියා එය අනෙක් පැත්තට කැරකෙනවා ද? නෑ නොවැ. අන්න ඒ සිද්ධාන්තය ගැන සලකා බලා තමන් මුලිච්චි වෙන්ට පැමිණි ආගන්තුකයාට කන්නට බොන්නට දෙන්න දෙයක් නැතත් ප්‍රිය මනාප වචනයෙන්වත් සංග්‍රහ කිරීම නොවැ යුතුකම. ඊට මූලික වන හේතු ලෙස සමාජ සිද්ධි සංග්‍රහවල සඳහන් කරලා තියෙන්නේ මෙහෙමයි:
මා සුදනෙකි සත්පුරුෂයෙකි යි කීවාට බැහැ. ඒ සත්පුරුෂ බව පෙන්වන්නට හැකි වෙන්නේ සිදු කෙරෙන ආගන්තුක සංග්‍රහවලින්. ආගන්තුකයෙකු ආ කල්හි ඔහුට වාඩි වෙන්නට අසුනක්, විඩාව හැර ගන්නට පහසුකම් සහ පා දෙවීමට හා බීමට වතුර, සිනා මුවෙන් කෙරෙන කතාබහ පවා තිබිය යුතුමයි. මගෙ අප්පොච්චියෝ ඒවා තමුන්නාන්සේට අමතක වුණා ද මන්දා...
ඔය ගැන කියවෙන විස්තර මහ ගොඩක්ම තියෙනවා පොත්වල සටහන් කරලා. මෙන්න ඒවායෙන් තවත් එකක්.
මේ ලෝකයේ ජීවත් වන සත්පුරුෂයන් ගුණයක් නැති නපුරන් කෙරෙහි පවා දයාව කරුණාව දක්වනවා. හඳ, සැඬොල් පැල්පත මත වැටුණු චන්ද්‍රාලෝකය ‘අපොයි සැඬොලෙකුගේ ගෙදරට වැටුණානේ’ කියා ආපසු ඇද නොගන්නාක් වගෙයි.”