පුණ්‍යවන්ත උතුමාණෙනි, තව දුරටත් ශ්‍රේෂ්ඨයන්ගේ ක්‍රියා දාමයන් මෙසේත් කියා තියෙනවා.
තමන්ගේ නිවහනට ආවේ බාලයෙකි, තරුණයෙකි, මහල්ලෙකි කියා වෙනසක් නොකර පැමිණි ආගන්තුකයා කවරෙකු වුවත් කළ යුතු සත්කාර සම්මාන නොඅඩුවම ඉටු කළ යුතුය. ඒ ඇයි? තමන්ගේ නිවසට ආ අමුත්තා සියල්ලන්ගේම ගුරුවරයෙකු හා සමාන වන නිසා. එපමණක් ද? නෑ මෙහෙමත් සඳහන් වෙනවා සමාජ සංග්‍රහවල:
නිවසට පැමිණි ආගන්තුක අමුත්තා තමන්ට නිසි සැලකිළි නොදැක්වීම නිසා අසතුටෙන් පිටවී යාම නිසා තමන් කර ගන්නේ බලවත් හානියකි. ඇයි ඒ? යන අමුත්තා යන්නේ නිවැසියන්ට දෙන්නට ගෙනා පිං පොට්ටනිය කර තබා පවු කන්දක් ගෙහි තබා වන නිසා. එපමණක් නොවෙයි උතුමාණෙනි, අවසාන වශයෙන් මේ ටිකත් කියන්නම්,
උසස් කුලවන්තයෙකුගේ නිවසකට එනවා කුල හීනයෙකු. කුල හීනයාය කියා පැමිණි අමුත්තාට ගරු සරු නොදක්වා සිටීම හරි ද? සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඇයි ඒ ආවේ කුලහීනයෙකු නොවෙයි. සියල්ලන් විසින්ම ගරු සරු දැක්විය යුතු ආගන්තුකයෙකු නිසා.
දීර්ඝකර්ණගේ දීර්ඝ දේසනාවට සවන් දී සිටි ජරද්ගව ගිජු ලිහිණියා සිය මුව විවර කළේ ය.
“දීර්ඝ කර්ණ ඔබේ කුලය බළල්. බළලුන් කරන්නේ මස් කෑම. මේ නිවාසයෙහි විවිධ වර්ගයේ කුරුළු පැටව් සිටිති. අන්න ඒ නිසයි වහාම පිට වී යන ලෙස අණ කළේ.”
ජරග්දවගේ මුවෙන් හේතු ප්‍රකාශය පිට වෙනවාත් සමඟ දීර්ඝකර්ණ දෑතින් මහපොළොව ස්පර්ශ කළේ ය. ඒ සමඟම දෙකණ දෑතට හිරකර ගති. තුන්වරක් නැවෙමින් මෙවන් යාදින්නක් කළේය.
ධර්ම ශාස්ක්‍රය මැනවින් ප්‍රගුණ කර සියළු රාගයන් පහ කොට ඉතා දුෂ්කර වූ චන්ද්‍රායන ව්‍රතය සමාදන්ව පෙහෙවස් රකිමින් සිටිමි. විවිධ අදහස් වලින් පරිපූර්ණ ධර්ම ශාස්ත්‍රයන් උගන්වන සෑම දේශනයකම අවිහිංසා ධර්මය ශ්‍රේෂ්ඨතර වෙයි. එකී ධර්මෝපදේශයන් ආරක්‍ෂා කරන්නේ මාගේ පණ දෙවැනි කරමින්. එබැවින් මේ කියමන අනුව මාගේ චර්යාව සකස් වී ඇත. උතුමාණෙනි...!
මෙම භූ තලයෙහි ජීවත් වෙන සකල සත්ත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් කල දවස ගෙවමි. හිංසා යන වචනය මනසේ කොණකවත් රඳා නැත. නිතර පෙරමඟ බලා සිටින්නේ පිහිටක් අයැදිමින් කෙනෙකු එන තෙක් ය. ලැබෙන දුක ද සැපතක් සේ සැලකීම මගේ එකම ගතියයි.
මෙහිලා ඔබ වහන්සේගේ අවධානයට යොමු කළ යුතු තවත් කරුණක් ඇත. අසා වදාරණු මැනවි.
ඇතැම් දේවල් මිය ගිය තැනැත්තා පසු පස යනවා. සමහර දේ ජීවත්ව සිටින්නාගේ ශරීයත් සමඟ යනවා. මෙයින් වඩාත් වටින්නේ මිය ගිය අය සමඟ යන කුසල කර්මයයි.
කෙනෙක් තවකෙකුගේ මස් කනවා. මස් කෑමට දිවි පිදු සතයි, කන පුද්ගලයයි දෙන්නාම විඳින්නේ සමාන සැපක්. මස් කන්නා කෑමෙන් ප්‍රීති වෙයි. මස් දුන්නා මරණයෙන් ප්‍රීති වෙයි.
මේ පිළිබඳව තවත් කිව යුතු දේ තිබෙනවා ස්වාමීනී.
සතෙකු මැරිය යුතු යැයි සිතෙද්දී සිතට ඇති වෙන්නේ දුකකි. ඒ දුක්වන මොහොතෙදී තවකෙකුට ආරක්‍ෂා වීම සඳහා කාලය ඇති බැවින් ආරක්‍සාව සලසා ගැනීමයි කළ යුත්තේ. මරණ තෙක් නොසිට.
නැවතත් අසා වදාරන්න ස්වාමිනී. මේ කරුණත්,
වැවේ පිටියේ හැදෙන කැලේ හැදෙන පලා කොළවලින් තම බඩ පුරවා ගන්නට පහසුකම් තිබිය දී, ඔය ජරාවෙන් පිරුණ බඩට මස් මාළු දාන්ට කවුද සතුන් මරා පව් පුරවා ගන්නේ? නැහැදුණ උන්ගේ පාහර වැඩ. මට තියා මගේ බළලාටවත් (බල්ලාටවත්) එපා අනුන්ගේ කුණු.