“සීවරන් දෙයියන්ටම පෙනීයන්, මොකදෑ අප්පේ මේ වැදුණ හෙණ ගෙඩිය! කන්න හොයාගෙන මෙතරම් දුරක් ආවේ ඇයි, අපේ ලැගුම් පොළ අවට වකාරෙට දළු ලෑ පඳුරු තියෙද්දී?”
“කතා කරල දැන් පලක් නෑ යාළුවා. ඔබේ අවවාද නොපිළිගෙන කරගත් වින්නැහිය තමා මේ! මේ කියමන අහල ඇතිනේ...”
“කවුරුන් හෝ අතිජාත මිත්‍රයන්ගේ කීම් නො පිළි ගත්තොත් ඒ ඉතින් තමන් විහින්ම තම හිස මතට විපතක් පහත් කර ගැනීමක්. මිත්‍ර අවවාද නො අසන්නා කරන්නේ තමන්ගේ සතුරා තමන් විසින්ම සතුටු කිරීමයි.”
“කෝ කෝ ඒ වංචාකාර පාහරයා? කොහෙද ඉන්නේ”යි කවුඩා ඇසූ පසු මුවා මෙසේ කීවා.
“කියලා වැඩක් නෑ - මගේ ලේ මස් කන්ට බලාගෙන ඔය ළඟම ඉන්නවා!”
“ඔන්න ඔය සෙතේ තමා මං කට කැඩෙනකන් කීවෙ. ඇහුව ද? තඹ පයිසෙකට ගණං ගත්තේ නෑ. දැන් විඳවනවා! මේ තියෙන්නේ ඒකට ගැළපුම්.
අනේ මගේ අතේ වරදක් නෑ - කවදාවත් වරදක් කරල නෑ. වරදක් කරනවා තබා කරන්නට හිතෙන්නේවත් නෑ කියා ගහපහ දෙනවා සමහරුන්. ඒක පිළිගැනීම විශ්වාස කිරීම තරම් මෝඩකමක් තවත් නෑ. මොකක් ද හේතුව? අධර්මිෂ්ට පරයන්ගෙන් ගුණවතුන් උගතුන් කියන අයටත් බය ඇති වෙන නිසා!
මරණය ඔන්න මෙන්න කියා ඇති අයට නිවෙන පහනේ ගඳ සුවඳ බලන්නට ඕන කමක් නෑ. යාළු මිත්‍රයන්ගේ අවවාද පිළිගැනීමක් නෑ. අරුන්ධතී තරුව පායලා තිබුණත් ඒ ගැන හාංකවිසියක්වත් නෑ.
හිතවත් බව පෙන්නාගෙන සමහරුන් ඉන්නවා. ඒ අය තමන් සිටිය දී පණ නහගෙන වැඩ කරණ බව පෙන්වනවා. එතැනින් ගියේ කරණ වැඩකුත් නෑ. කටෙන් පෙරෙන්නේ දොස් පරොස්. කට ළඟටම කිරි පිරිලා නමුත් ඇතුළේ විෂ ඇති කිරිකළයක් සේ ඉවත දැමිය යුතු ය.” එසේ කරුණු පහදා දුන් කාක්කා දිග සුසුමක් පිට කර තර්ජනාත්මකව මෙසේ කීවා නරියා දෙස බලා.
“වංචාකාරයා කපටියා වනචරයා මොකක් ද යකෝ තෝ මේ කළ පාහර වැඩේ. ඕක ද කියා ගෙන ආ මිත්‍ර ධර්මේ. නරියාගේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි. තෝ වැනි පාහරයන් ගැන බල උගතුන් කියා ඇති දේ:
කටෙන් පිට කරන්නේ මී පැණි ගලන්නා සේ මිහිරි වචන - අන්න එබන්දනුත්, වංචා සහගත උපා උපක්‍රම මඟින් අන් අය වසඟයට ගන්නා වුන් කෙරෙහිත්, තමන්ගේ අවශ්‍යතාවයන් උදෙසා යම් යම් දේ ලබා ගන්නට මාන බලන උන්ගේ ඇවතුම් පැවතුමුත්, ප්‍රමාණය ඉක්මවා කුළුපග පානා අයත්, අනුන්ගෙන් යැපෙන යාචකයනුත් විශ්වාස කටයුතු නොවේ.
එපමණක් නොවේ. උදව් පදව් ගත හැකි විශ්වාසයේ තැබිය හැකි, පිරිසිදු අදහස් ඇති කෙනෙකුට කවුරුන් හෝ හිංසාවක් කළොත් පාඩුවක් අසාධාරණයක් කළොත් අන්න ඒ අසත් පුරුෂයා මේ මහ පොළොවට ඉසැලිය නොහැකි බරක්.
දුර්ජන හෝදාපාලුවන් සමඟ මිත්‍රකම් පැවැත්වීමත්, ප්‍රීති සාදවලට සහභාගී වීමත්, කිසිදාක නොකළ යුතු දේවල්. ඒ ඇයි? දැල්වෙන අඟුරක් ඇල්ලුවොත් අත පිළිස්සෙනවා. නිවුණ අඟුරකින් අතේ දැලි ගෑවෙනවා.
ඔන්න ඕවා තමා දුර්ජනයන් වෙළාගෙන සිටින ගති සිරිත්. ඒවා දුර්ජන සම්ප්‍රදා ලෙසත් හඳුන්වන්නට පිළිවන්. එවන් දුර්ජනයන් සමාජයේ සෑම අංශයකම සෑම තැනකම සිටිනවා.”