28. හිතෝපදේශය | කළ දේ පල දේ | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


“හොඳා හොඳා, නීති පොතේ හරි වෙනත් තැනක හරි එහෙම කතාවක්ම තියෙනවාම කියමුකෝ. ඒක නොවෙයි ප්‍රශ්නය දැන් ඔය කොහෙද යන්ට ලක ලෑස්ති වෙන්නේ?” යි හිරණ්‍යක ලඝුපතනකගෙන් විමසුවේ මේ හේතු ධර්ම ඉදිරිපත් කරමින්.

බලනවා උන්නැහේ, බුද්ධිමතා ගමනක් යනවා. යන්නේ එක පයකින් - අනෙක් පය සිටි තැන ම. ඒකෙන් අදහස් වෙන්නේ කුමක් ද? යා යුතු තැන පිළිබඳ තීරණයක් නොගෙන තමන්ගේ දෙපා හිතුමතයේ නිකමටවත් සොලවන්නේ නෑ කියන එකනෙ.

“මං යා යුතු තැනක් ගැන හොඳට හොයල බලලයි තියෙන්නේ.” කපුටා කීවා.

“ඒ මොන දීපංකරයෙක ද?” මීයා ඇසුවා.

“ඒ තමා, දණ්ඩකරණයේ කර්පූරගෞර කියා විලක් තියෙනවා. ඔන්න ඔය විලේ කලක පටන් හඳුනන මගේ අතිජාත මිත්‍රයෙකු ඉන්නවා. අප්පා, එයා උත්පත්තියෙන්ම ධාර්මිකයි, ළෙංගතුයි. ප්‍රියමනාපයි. නම මන්ථරක.

තමන්ගේ පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කරමින් ඕනෑම අයෙකුට පිළිවන් කාට වුවත් උපදෙස් දෙන්ට. අනුන්ට උපදෙස් දුන්නාට මොකෝ තමන් හැසිරෙන්නේ හිතුමනාපෙට. එහෙත් මගේ මිත්‍ර මන්ථරක උපදේශයන් දෙනවා වගේම ඒ අනුව හැසිරෙණ ප්‍රඥා බුද්ධි සම්පන්න අයෙකි. එයා ඇවිල්ලා ඉබි රජෙක්.

ඉතින් ඒ හිතවතා කෑම බීමෙන් මාව රැකගන්නා බව ඉර හඳ වගේ මට විශ්වාසයි. අන්න ඒ නිසයි උන්හිටි තැන් හැර දමා විදේශ ගත වෙන්ට මං කල්පනා කළේ.” යි ලඝුපතනක බැරෑරුම් මුහුණෙන් යුතුව කියා සිටියා.

“හොඳයි, ඔබේ තීරණය ඒක නම් එසේම වෙද්දෙන් ඉතින්. මං කරන්නට ඕනෑ මොකක් ද?” මීයා ඇසුවා. මේ කාරණය අවධාරණය කරවමින්,

මගේ මතය නම් මිත්‍රයා, පිට දේශයකට යාමෙන් පසු නිසි පරිදි පිළිගැනීමක් ගරු බුහුමනක් නො ලද්දොත්, ජීවත් වෙන්නට රැකියාවක් ආර්ථික වර්ධනයක් නො වුණහොත්, නෑදෑ හිතවතෙකුත් නැතහොත්, රටේ ලෝකයේ කාරණා කටයුතු දැන කියා ගෙන ජීවත් වීම තරම් සුදුසු අධ්‍යාපනයකුත් නැත්නම් ඒ දේශයේ ජීවත් වෙන්නට යාම නොකළ යුත්තක් බවයි.

ඒ විතරක් නොවෙයි. විදේශ ගත වීමේ දී මේවා ගැනත් හිතන්නට ඕනෑ.

යන රටේ ධනවතුන් නැත්නම්, ශාස්ත්‍ර කියා දෙන ආගමික කටයුතු ඉටු කරන බමුණන් නොසිටී නම්, දේශය පාලනය කරන්නට රජෙකු නො වේ නම්, ගොවිතැන් කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය ලබා ගන්නා ගංගා ඇළදොළත් නො පිහිටියේ නම් රෝග ව්‍යාධිවලට පිළියම් කර ගන්නට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු සේවාකම් නො කෙරේ නම් ඒ රටට යාමෙන් පළක් නැත. බුද්ධිමතුන් විසින් වර්ජනය කළ යුතු දේශයක්.

ඔය සිද්ධියට අදාළවන තවත් කරුණු එමටයි.

තමන්ගේ ජීවිතය ගෙන යන්නට නිසි මාර්ග නැති නම්, බියෙන් තැති ගැන්මෙන් ජීවත් විය යුතු පරිසරයක් නම්, ලැජ්ජාවට පත් කරන ක්‍රියා සිදුවේ නම්, ආශ්‍රිතයන් එකම මඟකට යොමු කරගත හැකි නොවේ නම්, දීමට මැළිකම් දක්වන්නන්ගෙන් යුතු නම් එම ප්‍රදේශයත් වාසයට නොසුදුසු වූවක් ලෙස සලකා අත්හැර දැමිය යුතමයි.

මිත්‍රයා මේකත් හොඳට හිතේ ධාරණය කර ගන්ට. තැනින් තැන යනවා කියන්නෙ ලොකු කරදරයක වැටීමක්. තමන් යන ප්‍රදේශයේ මේ පහසුකම් ද සොයා බැලිය යුතුයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll