29. හිතෝපදේශය | කළ දේ පල දේ | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ණයක් තුරහක් කර ගන්ට සුදුස්සෙකු නැත්නම්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කරන්නට තරම් සුදුසු වෛද්‍ය විශේෂඥයනුත් නො සිටී නම්, මරණයක දී මළ අය දෙව් ලෝ දක්කන්නට සමත් බමුණනුත් නො වෙසේ නම්, ඒ ප්‍රදේශයේත් නොවිසිය යුතුමයි.

දැන් ඉතින් ඔබ කියන පරිදි ඒ අවශ්‍යතාවලින් ඔය යන්නට තීරණය කළ රට සශ්‍රීකනේ. සියල්ලෙන්ම පරිපූර්ණනේ. එහෙම නම් ඉතින් මාත් කැටුව යන්න. ‘මාත් එන්නම්’ යැයි හිරණ්‍යක කියා සිටියේ ය.

“අගෙයි, අගෙයි, මාත් ඉතින් මෙපමණ වෙලාවක් වලි කෑවේ ඔය ටික කියවා ගන්ට තමා. එහෙම නම් හෙට උදැහැනැක්කේම පිටත් වෙමු.” යි කී ලඝුපතනක ආචාර සමාචාර දක්වා සිය වාසස්ථානය බලා පියාසර කළා.

පසු දින උදෑසන හිරණ්‍යක මී රාජධානියට ආ ලඝුපතනක ද්වාරාංගනයේ සිට මීයා ඇමතුවා.

“සුභ උදෑසනක් වේවා! මගේ හිරණ්‍යක උතුමාණන් ට!”

“එසේම වේවා! මගේ මිත්‍රයාටත්, සූර්ය දිව්‍ය රාජයා ඉණේ ගහගෙනම ආවා එහෙනම්! තව එහෙනම් උදේට යමක් සප්පායම් වුණෙත් නැතිව ඇති?”

“ආයෙ මක්කටැයි හැමදාම කන ඒවා කොටා බාන්නේ, අතර මඟ ඕනපදං තියෙනවා තරු පහේ කෑම. දවසකට හරි අපිත් විදේශ සංචාරකයන් වෙනවානේ.” 

“ඒක නම් ඇත්ත තමා. හැබැයි ඒවායේ තියෙන්නේ වැඩි හරියක් දවස් දෙකේ තුනේ පරණ ඒවා. දුටහට කන්ට යන්ට එපා. - බඩ සවුත්තු වුණොත් එහෙම ගමන අඩාළයි.”

එසේ මූලික සාකච්ඡාවලින් අනතුරුව ලඝුපතනක තියා ගත්තා කරමත හිරණ්‍යක. උපන් හදවියට අහස්යානාවකින් කෙරෙන ගමනක්. වටාපිටාවේ දර්ශන නරඹමින් සතුටු සාමීචියේ යෙදෙමින් මන්ථරක ඉබි තුමන්ගේ රාජධානිය වන දණ්ඩාකාරණ්‍යයෙහි කර්පූරගෞර අංගනයට පහත් වුණා.

තමන්ගේ පරම මිතුරෙකු වන ලඝුපතනක එන අයුරු ඉදිබු මන්ථරක දුර තියාම දුටුවා. ලැසි ගමනින් පෙර ගමන් ගිය ඔහු අමුත්තන් දෙදෙනා පිළිගත්තේ මහත් හරසරින් රාජකීයයන් පිළිගන්නා ලෙස වැළඳ ගනිමින්. ඉමක් කොනක් නැති ආදර සංග්‍රහ පවත්වනු ලැබිණි. නීතිය සේම පූර්වාර්දර්ශවලට ගරු කරන මන්ථරක එවන් පිළිගැනීමක් කළේ මෙන්න මේ හේතු යුක්ති අනුව යමින්.

තමන් වසන තැනට පැමිණෙන්නා බාලයෙකු තරුණයෙකු හෝ වැඩිහිටියෙකු විය හැකියි. ඒ ගැන සිතා බැලීම නොවෙයි කළ යුත්තේ, ආගන්තුකයා කෙබන්ඳෙකු වුවත් ඔහු පිදිය යුත්තෙකු බැවිනි.

අමුත්තා යනු කවරෙකුදැයි හඳුන්වන්නේ අන් සියල්ලන්ම දෙවැනි තෙවැනි තබා මෙන්න මෙහෙම.

දෙවරක් උපන්නේ යැයි කියන බමුණන්ගේ ගුරුවරයා ගින්න ය. ක්‍ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යන වාර්ගිකයන්ට ගුරු වන්නේ බමුණන් ය. කාන්තාවන්ට එකම ගුරුවරයා සිය සැමියන් ය. මේ කී සියළු දෙනාටම එකම ගුරු වන්නේ ආගන්තුකයාය.

පූර්වකෘත්‍යයන් නිමාවෙන් අනතුරුව කාක් ලඝුපතනක සිය හිත මිත්‍ර ඉබි මන්ථරක අමතා තමන් සමඟ පැමිණි මී හිරණ්‍යක හඳුන්වා දෙමින් මෙසේ පැවසුවේ ය.

මගේ මන්ථරක මිත්‍රයා, මේ ඉන්න උතුමාට හොඳට ගරු බුහුමන් දක්වන්න ඕනෑ. ඒ මුන්වහන්සේ හිරණ්‍යක කියන මී රාජේන්ද්‍රයා නිසා. පිංකරන අය අතරත් වැඳුම් පිඳුම් කළ හැකි ශ්‍රේෂ්ඨතරයෙකි. කරුණා සාගරයක්. මුන්නාන්සේගේ ගුණ කදම්බය වර්ණනා කරන්නට මුව දෙදහසක් ඇති අනන්ත නාග රාජයාට හෝ කවරදාකවත් පුළුවන්කමක් නෑ යි පැවසූ ලඝුපතනක, චිත්‍රග්‍රීවගේ කථා පුවත රස බර ලෙස කියා පෑවේ ය. එය අසා නිමවත්ම මන්ථරක, හිරණ්‍යක මී රජු ඉදිරියේ පසඟ පිහිටුවා වැන්දේ ය. ඉන්පසු ලඝුපතනක අමතා මෙසේ ඇසීය.

“අනේ වාසනාවන්, මට පින් රැස් කරගන්නට හොඳ පොටක් පාදල දුන්නේ. ඒක නොවෙයි මිත්‍රයා සියළු සැප පහසුකම් තියෙන නගරය අත් හැරල මේ ඝන වනාන්තරයට පදිංචිය සඳහා පැමිණීයේ ඇයි?”

“මාගේ ගෞරවණීය මන්ථරක මිත්‍රයාණෙනි, මං කියන්නම් මේ වනයට පැමිණෙන්නට හේතු පාත්‍ර වූ කරුණු.” යි කී හිරණ්‍යක තතු පහදා දෙමින් මෙසේ කීවා.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll