පාත්තරේට වැටුණ හෙනහුරා.
ඔන්න අසාගන්න හොඳයි ඒ කතාව. චම්පක නගරයේ තිබුණා ආරාමයක්, එහි වාසය කළේ පරිබ්‍රාජකයන්. ඔය කියන අසපුවේ සිටියා චූඩාකර්ණ නමින් හැඳින්වුණ පිරිවැජියෙක්. එයා ජීවත් වුණේ පිණ්ඩපාතයෙන්. ඉතින් පිඬු සිඟා ගොස් ලැබෙන ආහාර සප්පායම් වෙලා ඉතිරි වූ යමක් තිබුණොත් පාත්‍රය පිටින්ම එල්ලනවා බිත්තියේ සවි කර ඇති මුව අඟක. ආහාර ගැනීමෙන් පසු ඇති වන බුදිමත ආවහම තමන්ගේ සයනයේ දිගෑදෙනවා මතය පහවෙන තෙක්. මාත් ඉතින් සිටියේ ඒ ආරාමයේ ම තමා. කෑම සොයා ගෙන පිටතට ගියේ නෑ. අර එල්ලපු පාත්‍රයේ තියෙනවා නොවැ තැනින් තැනින් ලැබුණ නොයෙක් නොයෙක් කෑ යුතු දේවල්. ඉතින් මාත් පැනගෙන ගිහින් හොඳ හැටි බඩ කට පුරවා ගන්නවා අර ආහර වලින් ම. ඒක ඉතින් දවසක් දෙකක් කළ වැඩක් නොවෙයි. දිනපතාම සිදුවූවක් තමා. ඔන්න ඔහොම කාලය ගත වෙද්දී දවසක ආවා අසපුවට චම්පක පිරිවැජියාගේ යහළුවෙකු වන වීණාකර්ණ කියන පරිබ්‍රාජකයා.
මේ සිද්ධිය තරමක් හාස්‍ය ජනකයි. හිඟන්නාගේ පාත්තරේට හෙණහුරා වැටුණා වගේ දිනපතාම පාත්තරෙන් කැවිලි වර්ග අරන් කනවනේ. ඉතින් මාව බිය ගන්වන්නට නිදා සිටිය දී වුවත් චූඩාකර්ණ කරන්නේ ලීයකින් බිමට ගැසීම. ඉතින් වීණාකර්ණ ආදාත් සතුටු සාමිචියේ යෙදී සිටිමින් ම අර ලීයෙන් පොළොවට ගැසුවා චූඩාකර්ණ. ඒ විපරියාසය දුටු වීණාකර්ණ නොමනාපයෙන් මෙන් මෙහෙම ඇසුවා.
“යාළුවා, මං මේ ලොකු කථාවක් කියාගෙන යන්නේ. ඒක ගණනකට නොගෙන අහවල් විපරියාසයක් ද මේ කරන්නේ ලීයකින් පොළොවට තඩි ගහමින්?! මං එහෙම ඔබෙන් අසන්නේ මගේ කතාවට ඔබේ ඇල්මක් නොමැති බව පෙනෙන නිසා. ඒක පූර්වාදර්ශ නීති ලේඛනවල සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම;
කථා සංවාදයන්හි නියුක්ත වූවන් අතර පැහැදුණ මුහුණු තියෙන්නට ඕනෑ. බැල්ම නිර්මල විය යුතුයි. කථාව කියන්නා අසන්නා අතර ආසාවක් තියෙන්නට ඕනෑ. පිට විය යුත්තේ මිහිරි වචන. දෙපිරිස අතර ආදරයක් මෙන්ම ආදර බැල්මක් තිබිය යුතුයි. ඒ තමා ඇල්මෙන් යුතුව කතාබස් කරන්නන් අතර තිබිය යුතු විශේෂ ලක්‍ෂණ.
කතාව පිළිකෙව් කරන්නාගේත් ගති ලක්‍ෂණ උපලේඛන ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ මෙන්න මෙහෙම.
මුහුණෙන් මුහුණ බලාගෙන කියන්ට ඇති දෙයක් නොකීම. පෙර දී තම තමන් කළ කී දෑ සිහිපත් නොකිරීම. ගරු සරු ලස පිළිතුරු නොදීම. කළ වැරදි විටින් විට ඉස්මතු කිරීම. අනවශ්‍ය කථා ඇද ගැනීම. නම හෝ නෑකමක් නොකියා අවතක්සේරු කිරීම කියන ඒවා තමා කථාවට රුචියක් නැති බව හඟවන ලක්‍ෂණ.”
වීණාකර්ණගේ කීම්වලින් බලවත් සේ අපහසුතාවයට පත් චූඩාකර්ණ පිරිවැජියා ඒ කථාවට හරස් කැපුවේ මෙන්න මේ ආකාරයෙන්.
“අපොයි හීනෙකින්වත් හිතන්නට එපා මං ඔබේ කථාවට අකැමැතියි, ඇහුම්කන් නොදුන්නා කියලා. හොදට බලන්න අන්න අර පෙරේත මීයා කරන කුප්පිදු වැඩේ. ඕකා ඔහොම තමා හැමදාම මගේ පාත්තරේ තියෙන කෑම වර්ග හොරා කනවා. මේ මං ඌ පන්නා ගන්නටයි ලීය වනන්නේ.”
චූඩාකර්ණගේ කථාව අසා සිටි වීණාකර්ණ පාත්‍රය එල්ලා ඇති මුව අං තට්ටුව දෙස බැලුවා. ඔහු කල්පනාවට වැටී සිට මෙසේ ඇසුවා.
“ඒක නොවෙයි, චූඩෙ මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලිහා ගත යුතු. මීයා බලසම්පන්නයෙකු නොවේ. එහූ එකා කොහොම ද මෙච්චර දුරක් පනින්නේ. ඒක ලිහා ගැනීමයි පළමුනේම කළ යුත්තේ. මේ වගේ අවස්ථාවල දී අනුගමනය කළ යුතු ක්‍රම විධි අනු අංක යටතේ කොපමණක් නම් අපේ නීති වල සඳහන් කරල තියෙනවා ද? ඒවායෙහි මූලික සිද්ධාන්තය හෙළි ගන්වා ඇත්තේ මෙහෙම.
නාඹර විය දැකුම්කළු රුව පිරුණ තරුණකම ඇති බිරිඳක් මහා කලබලයකින් හීං ගිරාවට පත් මහළු සැමියා කෙස්වලින් ඇද දමන්ට අවනත කර ගෙන ඉතා තදින් සිප වැළඳ ගත්තේ නම්, එතන කුමක් හෝ හේතුවක් තිබිය යුතුයි.
“කතරගමයෝ සාක්කි. මොකද්ද හැබෑටම ඒ ප්‍රේමා ලිංගනයැ?” යි චූඩාකර්ණ විමසූ විට වීණාකර්ණ කථාව පුරා ගත්තේ මෙසේ ය: