32. හිතෝපදේශය | මහලු වෙළෙන්දා සමඟ තරුණ බිරිය | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


“මොකෝ ගෑණු නම් හිග. ඒත් නොදන්නා එවුන් වද්ද ගත්තොත් මාව මරාගෙන කයි.”

“ඉතින් ඒකට මොකද් යොදන්නට පුළුවන් පිළියම?”

“තමුන්නැහැ හිත අමනාප කරගන්ට කාරි නෑ. දැන් වෙළඳ ව්‍යාපාරයෙනුත් නට්ටං වෙලා. ණයතුරුස් එමට. ජීවිතය ගැට ගහගන්ට වෙලා තියෙන්නෙත් සීරු මාරුව. මටත් මේ ව්‍යාපාරය එපා වෙලා තියෙන්නේ. කරල කරලම හැමිහං වෙලා. ඒවා බලා කියාගෙන වැඩි දියුණු කරන්ට කෙනෙකුත් නෑ.”

“ඒකම තමා ආයුබොවන් මාත් මේ දහ අතේ කල්පනා කරන්නේ.”

“මේ ලීලාවතී දීග තලග දෙන්නට එක සූදානමක් එහෙම තියෙනව ද?”

“ඔය අහන්නේ මගේ දුව ගැන ද?”

“නැත්නම් මං දන්න වෙන ලීලාවතියක් ඉන්න එකක්යැ මේ සාවියේ!”

“නෑ නෑ එහෙම අදහසක් තවම නෑ.”

“ඒක තමයි, වයසෙ නම් පරතරයක් තියෙනවා තමා.”

“තමුන්නැහේගේ වයස මහ ලොක්කු බක්ක වයසක්යැ. ස්ත්‍රියට වඩා පිරිමියා වයසෙන් වැඩි වෙන්නටම එපායැ. ඕවා සලකන්නේ කවු ද?”

ඔන්න ඔය විදියට කථාව පටන්ගෙන අවසන් කෙරුණේ ලීලාවතී චන්දනදාසට විවාහ කර දීමෙනි. ඇය ද අනංගයාගේ වෛජන්තිය මෙන් භාව හාව ලීලා සම්පන්නව බැබලෙන්නට පටන් ගත්තා ය. එහෙත් සැමියා ඉදිරියේ කොච්චරවත් කීවේ “දාඩිය ගඳේ බෑ. උහුලන්නට බෑ පිළුණු ගඳ. හොක්ක මයින හම පරාදයි. ඇඟේ රැළි මුහුදේ රැළි වගෙයි.” වැනි නොසරුප් වචනයි. මෙවන් අවස්ථා නීතිය ඉටු කිරීමේ දී සොයා බලන හේතු සාධක ලෙස දක්වා ඇත්තේ මෙහෙමයි.

හමේ සීතලෙන් පෙලෙන අයට සඳ දුටු කල ඇති වෙන්නේ නොමනාපයකි. ග්‍රීෂ්මයෙන් තැවෙන උන්ට හිරු කෙරෙහි ජනිත වෙන්නේ තරහක්. මහළුකමක් ජරා ජීර්ණ ශරීරයක් ඇති සැටියත් දකිද්දී රුවැති තරුණ අඹුවන්ට වැළඳෙන්නේ අප්‍රියාවක්.

මේත් තවත් සාධක ඔප්පු කරන්නක්.

ඔය ගැහැණු කියන අය තම සැමියා කොතරම් ළෙංගතු වුවත් වෙනත් අයෙකු ගැන හිත ගියොත් සැමියාට සලකන්නේ කල් කදුරු තිත්ත ඇති බෙහෙතක් ලෙසට. ඒ කෙස් රැවුල් පැසුණ ඔහුගෙන් ලබාගත හැකි රස පහසක් නැතැයි සිතන බැවින්.

ධනය මත්තේ නැහෙමින් තරුණ ජීවිතය ද නසා ගෙන සිටි චන්දනදාස ගැහැණුන් ගැන හය හතරක් නොදත් කමෙන් අනුරාගයෙන් මුසපත් විය. කෙසේ වුවත් ලීලාවතීගේ පදවලට නටන්නට ලැබීමත් ආශිර්වාදයක් සේ හේ සිතුවේ ය. ඒ මෙන්න මේ නිසා.

ලෝකයේ වසන සියල්ලනටම ධනය හා වස්තුව පිළිබඳව ඇත්තේ ආසාවකි. ඒ අතරින් වයස ඉක්මවා යමින් ඇති මහල්ලන්ට තමන්ගේ පණටත් වඩා වටින්නේ අගර දඟර පාන තරුණ බිරියයි. එපමණක් නම් මදෑ, ඔය වයසට ගිය මහල්ලා කම් සැප විඳීමේ දී දුර්වලයෙකි. කම් සැප නොවිඳ ඉන්නට ද අසමතෙකි. මහල්ලාගේ කම් සැප විඳීම හරියට දත් නැති බල්ලෙකු ඇටකටු ලොවින්නාක් වැනි ක්‍රියාවකි.

ඉතින් ටික දිනක් ගත වෙද්දීම ලීලාවතියට චන්දනදාස දෑහට පෙනෙන්නට අසීරු ජරාගත රූපයක්ම විය. යොවුන් මදය හිසට ගසන්නට වූයෙන් කුල සීමාවන් ඉක්මවා යමින් නිදහසේ කටයුතු කරන්නට පටන් ගත්තා ය. තම ආසාවන් මුදුන්පත් කරගැනීම උදෙසා තරුණ මදය ඇති ආ - ගිය වෙළඳ ව්‍යාපාරිකයෙකු සමඟ ආලයෙන් වෙළුණා - සිරුරෙන් බැඳුණා ය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll