34. හිතෝපදේශය | මහලු වෙළෙන්දා සමඟ තරුණ බිරිඳ | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඔන්න ඔය කාරණය නිසා තමයි මං “අකස්මාත්යුවතී වෘද්ධං” යන්න ඉදිරිපත් කළේ යැයි වීණාකර්ණ හෙළි කළේ ය. ඉතින් මහළු සැමියා රවටන්නට අර තරම් උපක්‍රමයක් සිදු කළා නම්, මේ මීයා පාත්‍රයේ ඇති කැවුම් කන්ට මොන දෙයක් නොකරාවි ද? අප සොයාගත යුත්තේ මීයාගේ බලයට මුල් වූ කාරණයයි, කී වීණාකර්ණ මොහොතක් සිතා බලමින් සිට මෙසේ කීවේ ය.

මේ ලෝකය තුළ බලවතුන් බිහි වෙන්නේ ධනවන්තකම නිසයි. රටක් පාලනය කරන්නා අපරාජිත රජෙකු බවට පත් වෙන්නේ රට ධන ධාන්‍යාදියෙන් ස්වයං පෝෂිත වී තිබුණොත් පමණයි.

රටවැසි ජනයා බලවතුන් වන්නේ ද ධනය නිසයි. ධනය ඇත්තා තරම් බුද්ධිමත් පණ්ඩිතයෙකු වෙනත් නැත. මේ හොර මීයා තමන්ගේ ජාතීන් හා සමාන වූවෙක්.

කියන්නට තරම් වස්තුවක් නැති, පුදන්නට තරම් බුද්ධියක් නැති මිනිසෙකු කරන සෑම ක්‍රියාවක් ම ග්‍රීෂ්ම සමයෙහි වියැළී යන ගංගා ඔය ආදි ජලාශ මෙනි.

තවත් තිබේ කියන්නට අප්‍රමාණ දේවල්.

යමෙකුට ධනය තිබේ නම් ඔහුට මිතුරන්ගෙන් හිගයක් නැත. යමෙකුට වස්තුව ඇත්නම් නෑයන් එමටම ය. යමෙකුට සහ පිරිවර ඇත්නම් ඔහු තරම් වෙනත් ශ්‍රේෂ්ඨයෙකු නැත. යමෙකුට උපදෙස් දෙන්නට හැකි නම් ඔහු තරම් ඥාණවන්ත පඬියෙකු වෙනත් නැත.

දරුවන් නැත්තාගේත් යහපත් මිතුරන් නැත්තාගේත් ගෙදර අමු සොහොනක් වැන්න. මෝඩයාට මොන දිසාවත් එක සමානය. දිළින්දාට හැම දෙයක්ම හිස් ය.

තවත් කිව හැකි කරුණු අප්‍රමාණ ය.

දිළිඳුකම සහ මරණය යන දෙකෙන් දුප්පත් කම වඩාත්ම පහළ බව පඬුවෝ කියති. මරණයෙන් ලැබෙන දුක සීමා සහිත ය. එහෙත් දිළිඳුකමෙන් ලැබෙන දුක මරණය දක්වා ම පවතී.

ඔය අකාර කරුණු ගැන තවත් කිවයුතු දේ තියෙනවා මෙන්න මේ වගේ.

මහා ධන කුවේරයෙකුව සිටිනතාක් කල් සකල විධ ඉන්ද්‍රියයන්ම ශක්ති සම්පන්නය; මනස්කාන්ත ය. ඉන්ද්‍රියයන් හඳුන්වන නාමයන් ද කණට මිහිරිය. බුද්ධියත් බුද්ධියේ බලයත් දස දිසාවෙහිම පැතිරෙන්නේ අධි වේගයෙනි. මුවෙන් පිට කෙරෙන වචන ද ස්ථිරසාරය. අනේ අපොයි පෝසත් කාලයේ කිනම් දේත් එසේ තිබුණත් බැබළුණත්, නට්ටං බට්ටං වූ දවසට කදිමට තිබුණ ඉන්ද්‍රියයන් නමට වැනෙනවා. පණක් කඳක් නැති අත් පා ආදිය වෙනවා. අයෝමය යන වචන වැරහැළි කඳක් නැමති නම් ලබනවා. බුද්ධිය හණ මිටි යුගයට යවනවා. වචනත් සෙවල වෙනවා. අන්තිමේ දී නිර්මාණය වෙන්නේ අළුත් කෙනෙක්.

ඒ කී සියළු කතා අවසානයේ දී මංම තීරණය කළා එතැන තව දුරටත් සිටීම නොසුදුසු බව. ඒ සිදුවුණ මරිකම් අනුන්ට කීමත් නොකළ යුතු බවටත් තීරණයක් ගත්තා. මෙන්න මේකයි ඒකට හේතුව.

සිදුවෙන ධන හානියක්, ඇති වෙන සිත් තැවුල්, තම නිවස තුළ සිදු කෙරෙණ දුශ්චරිත, රැවටීම්වලට පත් වූ අයුරු, විඳින ලද අවමන් කියන ඒවා ඥානවන්තයන් මොන හේතුවකටවත් පිටතට දෙන්නේ නෑ. තමන්ගේ වයස, ධනය ඇති නැති බව, ගෙදර අඩුපාඩු, පවත්වාගෙන එන රහස්, අඹුසැමි ඇසුරේ ප්‍රමාණ අප්‍රමාණ බව, රහස්‍ය බෙහෙත් වර්ග, රකින සීලය, දෙන දාන, විඳින අවමන් රැක ගත යුතු ඒවා වේ. වාසනාව කියන එක නැත්තටම නැති වී ගිය විට ගන්නා වෑයම් වලින් ප්‍රයෝජනයක් නැති කොට, දුප්පත් උගතාට පිහිටට ඇත්තේ කැලෑවැදීම පමණයි.

තමන් මිය ගියත් වැරැදි මගක නොයාම ඥාණවන්තයන්ගෙන් ශ්‍රේෂ්ඨ ලක්‍ෂණයක්. දල්වන ලද ගිනි මැලයක් නිවී ගියත් එහි උණුසුම රඳා පවතින්නාක් මෙනි.

ඥාණවන්තයාගේ ගති ස්වභාවය මල් කිනිත්තක් හා සමානයි. ඒ මල් කිනිත්තත් ඤානවන්තයාත් සමාජය තුළ දෙයාකාරයකින් පිදුම් ලබන හෙයිනි. මල් කිනිත්ත සියල්ලන්ගේ හිස් මුදුනෙහි තැබිය හැකිය. නැත්නම් පරිසරය අලංකාරකරමින් වනයෙහි තිබේ. උගතාත් සමාජයෙන් ගරු බුහුමන් ලබයි. නැත්නම් වනගත වී තවුස් දම් වඩයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll