37. හිතෝපදේශය | මහලු වෙළෙන්දා සමඟ තරුණ බිරිය | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


කොටි වග වළසුන් වසන, බැලු බැලු අතේ ගස් කොළන්වලින් පිරුණ, කොළ ගෙඩි අල මුල් සමඟ වතුර ආහාරයට ගන්නා, තණකොළ ගොඩක් නිදි යහනට ඇති, ගස් පොතු රිටි සුඹුළුවලින් විලිවසා ගැනෙන කැලය උත්තමයි ශ්‍රේෂ්ඨයි. නෑයන් මැද දුප්පතෙකු ලෙස ජීවත් වීම අනේක ප්‍රකාර මානසික පීඩාවක් වන නිසා.

කවදා නමුත් කර තිබුණ පිණක හේතුවෙන් මේ මිතුරා මාව ස්නේහයෙන් පිළිගත්තා. දැනුත් ඒ කළ පින් පලදීමක් වශයෙන් ඔබේ ආශ්‍රය ලබා ගන්නට හැකිවුණා. කියනවා නම් එය දෙව්ලොව සැප ලබා ගැනීමක් හා සමානයි. ඇයි මං එසේ කියන්නේ, මෙන්න මේ නිසා:

අප ජීවත් වන සංසාරය විෂ පිරුණ ගහක් හා සමානයි. නමුත් ඒ විෂ ගසේ බොහෝම මිහිරි ගෙඩි දෙකයි තිබෙන්නේ. ඒ ගෙඩි දෙක තමා කාව්‍ය රස වින්දනය සහ යහපත් අය සමඟ සතුටු සාමිචියේ යෙදීම.

එම කථාව අසා සිටි මන්ථරක මෙසේ කීය.

පයේ වැකෙන දූවිල්ලක් හා සමානයි ධනය. තරුණකම කියන්නේ කන්දකින් ගලා බස්නා වේගවත් දිය ඇල්ලක් වගෙයි. ආයුෂය ජල බින්දුවක් වගේ. ස්ථිර වූ දෙයක් නොවෙයි. ජීවිතය පෙන බුබුළකට සමයි. මෙන්න මේ කරුණු හිතට නොගෙන කවරෙකු හෝ තැන්පත් සිතින් යුතුව දෙව්ලොව යා හැකි ධර්මාන්විත ක්‍රියාවන්හි නොඇළුණොත්, පසුතැවිල්ලෙන් යුතුව ඔහු කායික සහ මානසික දෙදරුම්වලට ලක් වෙමින් ශෝක නමැති ගින්නෙන් සදාකාලිකව තැවෙනවාමයි.

කාරණය ඇත්තයි. ඒත් ඔබ ප්‍රමාණය ඉක්මවා ධනය රැස් කළා නොවැ. ඉතින් ඒකෙන් මෙන්න මේ වගේ දොස් තියෙනවා ඔන්න අසා ගන්න.

හරි හම්බ කළ උපයා ගත් ධනය රැක ගන්නවා කියන්නේ දානාදි පුණ්‍ය කර්මයන් කිරීමයි. හරියට ජලයෙන් පිරුණ විල ආරක්‍ෂා කර ගන්නට විලේ ජලය වානෙන් පිට කිරීම වැනි ක්‍රියාවකි. තවත් අපමණ දේ තියෙනවා ඒ ගැන කියන්න.

මසුරා තමන් සතු ධනය පොලොව යට වළලා දැමුවා - නිදන් කළා කියන්නේ, මරණයට පෙරම අපායට යන්නට පුහුණු වීම සඳහා මඟක් සාදා ගත්තා කියන එකනේ.

සමහරුන් සල්ලි මත්තෙම නැහෙනවා. තමන්ගේ සුව පහසුව විවේකය තබා ලෙඩ රෝග ගැනවත් තැකීමක් නොකර, රැයක් දවාලක් වැස්සක් පින්නක් ගැන නොසිතා. ඒ තැනැත්තා හරියට අනුන්ගේ කරත්තයක බැන්ද ගොනෙකු වගෙයි. සැපයක් පෙනෙන අහළකින්වත් නෑ; මැරෙන තෙක් විඳින්නේ දුක් කන්දරාවක්.

මෙහෙමත් ඔය ගැන කියන්නට කැමතියි.

සමහරුන් තම ධනය යොදවා කන්නෙත් නෑ. වෙනත් සැපක් ලබන්නෙත් නෑ. එසේ කරන ධනවතුන් අතර කළ යුත්ත නිසි පරිදි කරන්නා තමා නියම ධනවතා. ධනය නිසි පරිදි කළමණාකරණය නොකරන්නාගේ ධනයට සිදු වන්නේ මෙන්න මෙහෙමයි.

මසුරාගේ ධනය දේව පූජා සඳහාත් වියදම් නොකරනවා නම්, බමුණන් උදෙසා දාන මානවලටත් නොයොදනවා නම්, නෑයන්ගේ ආරානෝරු වලදී පිහිටකට නොගන්නේ නම්, යටත් පිරිසෙන් තමන් වත් දි එයින් සැප නොවිඳිනවා නම්, ඒවා යන්නේ ගින්නට. සොර සතුරන්ට - රාජ භාණ්ඩාගාරයට.

ඒ ගැන තවත් මෙහෙමත් කිව හැකියි.

වස්තුව කියන දෙයෙහි ගති - ස්වබාවයන් තුනක් ඇත. ඒවා නම්, දීම - පරිභෝජනය සහ විනාශයයි. ඉතින් ධනය ඉපැයූ තැනැත්තා තම ධනයෙන් කළ දීමක් නැත්නම්, කටට බඩට කා අවශ්‍ය සැප නොවිඳින්නේ නම්, ධනය ඉපැයූ තැනැත්තා කරන්නේ තමා විසින්ම තම ධනය විනාශ කර දැමීමයි. ලෝභී මසුරු ධනවතා සතු ධනය සැප සම්පත් නොවිඳ පරිහරණය කරන්නේ අනුන් සතු වස්තුවක් ලෙස සිතා ගනිමිනි. කිසියම් හේතුවක් නිසා තම ධනය පිරිහෙන්නට විනාශ වෙන්නට පටන් ගනිද්දී එදා මසුරාට කියැවෙන්නේ ‘අනේ මගේ ධනය විනාශ වෙන හැටියක්’ කියලයි. යහපත් වචන පවසමින් ඥාන දානය, උඩඟු නොවීම, ඉවසීමෙන් පවත්වාගෙන යන සූරකම, තෑගි දීම් සඳහා යෙදැවූ වස්තුව කියන හතර ලොව තුළ දැක ගන්නට අපහසු දේවල්.

ඔය කරුණු ගැන සිතූ උදවිය මෙහෙමෙත් කියා තිබෙනවා. උදාහරණයක් සහිතව ම,

ධනය රැස් කිරීමට කාලයක් නෑ - නිතරම ධනය රැස් කළ යුතුයි. එසේ වුවත් උහුලන්නට නොහැකි තරම් ධනය රැස් කිරීම නොයෙක් කරදරවලට හේතුවක්. ඔන්න සිවලෙකු කළේම පමණ ඉක්මවා ධනය රැස් කිරීම. අන්තිමේ දී මොකක්ද වුණේ - දුන්නකින් මිදුන ඊයකින් මළා.

“අනිච්චේ දුක්ඛේ සංසාරේ. කොහොමද අප්පේ එහෙම වුණේ?” යි හිරණ්‍යක හා ලඝුපතනක දෙදෙනා ඇසූහ. මන්ථරක එම කථාව හෙළි කළේ මෙසේ ය:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll