39. හිතෝපදේශය | වැඩිය කන්ට ගිය රටේ (වලහා කාපි පිඩි ගැටේ) | Hithopadeshaya

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


වෙහෙස මහන්සි වී හම්බ කරන්නාට අපමණ ධනය ලැබෙනවා. එම ධනය ලෝකයා වෙනුවෙන් ප්‍රමාණවත් ලෙස විය පැහැදම් කරන්ට ඕනෑ. තමුනුත් සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වීම සඳහා වියදම් කරන්ට අවශ්‍යයි. එසේ නොවුණහොත් සිදු වන්නේ ධනය පොදි ගසාගෙන සිටීමෙන් අනතුරුව මිය ගියහොත් අසල්වාසීන් ධනය සමඟ පමණක් නොවෙයි මිය ගිය ධනවතාගේ බිරිය සමඟ ද සෙල්ලම් කිරීමයි.

යමෙකු සිය ධනය නිසි පරිදි කළමණාකරණය කර විවිධ අවශ්‍යතා සඳහා යොදවන්නේ නම්, තමන් ද එම ධනයෙන් සැප සම්පත් විඳින්නේ නම්, ඒ ධනය තමන් සතු වූවක් ලෙස සැලකිය හැකියි. නමුත් අනුන්ටත් නොදී තමනුත් නොකා කළ ධනය රැස් කිරීමේ ඵලය වන්නේ තමන්ගෙන් පසුව අනුන්ගේ ප්‍රයෝජනය උදෙසා එම ධනය රැස් කළ බවයි.

ගිය දේ ගියාවේ, කුමකට ද යල් පිනූ දේවල් පුන පුනා කියන්නේ - වෙච්ච මෝඩකම් එයින් සමථයකට පත් වෙනවායැ. ඊට හේතුව මෙන්න මේකයි.

මනා බුද්ධි සම්පන්න උදවිය ලබාගන්නට නොහැකි දේ ගැන ලබා ගනු පිණිස නැවත නැවතත් උත්සාහ නොගනී. නැති වූ දේවල් ගැන ශෝකයට කම්පාවට පත් නොවෙති. එපමණක් ද නොවෙයි, ඒවා මුළාවනැයි සලකා ඉදිරියේ දී කළ යුත්ත ගැන කල්පනා කරති.

මිත්‍රයා, ඔන්න ඔය කියන කාරණා ගැන හිතලා උත්සාහය අත් නොහැර ඉදිරිය සකසා ගන්නට ක්‍රම විධි සකසා ගත යුතුයි. ඇයි එසේ මං කියන්නේ මෙන්න මේ නිසා.

බොහෝ දෙනා අතර රටේ ලෝකයේ ඉන්නවා නොයෙක් විශේෂඥ ආචාර්ය ආදි පට්ටමින් බැබළෙන උගතුන් ලෙස සම්භාවනීයත්වයට පත් පිරිසක්. නමුත් ක්‍රියාකාරිත්වය තුළින් ඔවුන් අන්ත මෝඩයන්. පට්ටම ඉහළ ගියාට, වැඩ බලු වටින්නේ නෑ. නමුත් තමන් දැන උගත් දෙයින් නව නිර්මාණයක් යමෙකුට කළ හැකි වේ නම්, අන්න එයා තමා සැබෑ විද්වතා. ඖෂධය ගුණදායකයි. නම ඉහළයි. නමුත් එම නමෙන් පමණක් වැළඳුණ රෝගය සුව වෙනවා ද? අන්න ඒ වගේ මෙයට ම ගැළපෙන තවත් කීමක් තියෙනවා මෙහෙම.

උගත් ශබ්ද ශාස්ත්‍රයෙන් නව නිර්මාණයක් නොකළ හැකි උගතා යැයි සම්මත වූ තැනැත්තා බිය ගුළු නිවටයෙකි. එවන් හිස් පුද්ගලයන්ට ගරු සරු නොදැක්විය යුතුයි. උන්ගේ උගත්කම් අන්ධයෙකුගේ අතේ ඇති පහනක් වගෙයි.

ඔන්න ඔය කී හේතු සාධක නිසාත්, මෙය සුවිශේෂී අවස්ථාවක් නිසාත් ඒ අයට සෙත් කළ යුතුයි. මෛත්‍රී කළ යුතුයි. ඒ සෙත් කිරීම කරදරයක් කියා හිතන්ට එපා. එසේ මං ඇයි කියන්නේ?

ඒ ඒ පුද්ගලයන් වේවා වස්තු වේවා ඒවාට නිසි තැන සිටිය-තිබිය යුතුයි. රජු සුදුසු අසුනක නොහිඳ තාප්පයක් මත සිටියොත්, කුලකතක් කඩමැස්සක වාඩි වුණොත්, සළුවකින් වසාතැබිය යුතු පියවුරු එළියෙ දාගෙන වනව වනවා තබා ගත්තොත් වගේ, බමුණා ඇමතියා දත් නිය පමණක් නොව මිනිසුන්ද සිටිය - තිබිය යුතු තැන හැර අනවශ්‍ය තැන්වල සිටිය-තිබියහොත් ඒවා අශෝභන වේ. ලෝකයේ පරිබාහිර සියල්ලක්ම මැවී ඇත්තේ ඒ ඒ පුද්ගලයන්ගේ සත්ත්වයන්ගේ අවශ්‍යතා අනුව ය. මැඬියන් ජීවත් වන්නේ ළිඳක් ආශ්‍රය කරගෙනයි. පක්‍ෂීන් හා මාළුවන් සිටින්නේ ඔවුන්ගේ පැවැත්මට අදාළ වැවක් විලක් අසලය. මිනිසාට අවශ්‍ය දෑ ඔහු වටා පිහිටා ඇත. කළ යුත්තේ ස්වභාව ධර්මයෙන් ලත් දායාද නිසි ලෙස පරිහරණය කිරීමයි. සැප ලැබෙන්නේත්, දුකක් ඇති වන්නේත් කර්මානුරූපීවයි; ඒවා ප්‍රතික්‍ෂේප කරන්නට කිසිවෙකුට හැකියාවක් නැත. විඳවීම ලෝක ස්වභාවයයි. මේ දුක සැප කියන දෙක රෝදයක් සේ පෙරැළේ. කම්මැලි නොවී, වැඩ අතපසු නොකරන, හසුරු කෞෂල්‍යයන් ඇති හා ශාස්ත්‍ර විධි දන්නා, සුරා සූදු වැනි විනාශකාරී කටයුතුවල නොයෙදෙන, සූර බවෙන් යුතු, කළගුණ දත්, සුහද ලෙස ජීවත් වෙන්නා වෙත ශ්‍රියාකාන්තාව පෙරැත්තයකින් තොරව තමන්ම යයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll