එහි මෙවන් විශේෂතාවයක් ද ඇත.
වීරයාට වස්තුව අවශ්‍ය නැත. තම වීරකම් පෙන්වා බුහුමන් සහිතව උසස් පදවි ලබා ගනී. දුර්වලයා වස්තුව ඇත්තෙකු වුවත් පරිභවයට සහ නින්දාවට පත් වෙයි. බල්ලා රන්දම් පැළඳගෙන සිටියත් උපතින්ම අත් කරගත් ගුණ සමුදායක් ඇති සිංහයෙකු හා සමාන නොවේ.
මේ ගැන කිව යුත්තක් තිබේ.
තමන් පොහොසතෙකැයි කියා උඩඟු වෙන්නේ ඇයි? පවත්නා සම්පත් විනාශ වුවහොත් උඩඟුකමට කුමක් ද වෙන්නේ? මිනිසෙකුගේ නැගිටීමත් වැටීමත් හෙවත් දියුණත් පිරීහීමත් යන දෙක බෝලයක් සේ එහාට මෙහාට පැද්දෙන දෙයක්.
වළාකුළුවල දිලිසීම විදුලිය කෙටෙන තෙක් පමණි. දුර්ජනයාගේ පැහැදීම කාරිය කෙරෙන තෙක් පමණි. අළුත් අස්වැන්න කන්නක් තුළට සීමා වෙයි. ස්ත්‍රීන් ද රූපය ඇති තෙක් අගය පෙන්වයි. යොවුන් බව දිනෙන් දින දිය වී යයි. වස්තුව සදාකල් නොපවතී. එමෙන්ම, තමන්ට ශක්තිය තිබේ යැයි උදම් ඇනීම පලක් නැත.
රැකියාව සඳහා ප්‍රමාණයට වඩා වෙහෙස නොවිය යුතුය. ඊට හේතුව මහ බඹා විසින්ම රැකියාවක ලාභ ප්‍රයෝජන සීමා කර තිබීමයි. කෙනෙකු උපන් ඇසිල්ලෙහි මවගේ පියයුරු වලින් කිරි වැගිරෙන්නේද මහා බ්‍රහ්මයාගේ නම නියමයන්ට අනුකූලව සිදු වෙන නිසයි.
යාළුවා එපමණක් නොවෙයි, කිව යුතු දෑ එමටයි, බලන්නකෝ මහා බ්‍රහ්මයාගේ කෙරුවාවෙ තරම!
කියමු බලන්නට, හංසයන් සුදුපාට කළේ කවු ද? මහා බ්‍රහ්මයා. ගිරවුන් කොළ පාට කළේ කවු ද? එයාම තමයි. මොණරා විසිතුරු කරන ලද්දේ කවු ද? මහා බඹාම තමයි ඉතින් වෙන කවු ද? අන්න ඒ මහ බඹාම තමා ඔබේ ජීවිතයත් මේ මේ විදියට විය යුතු යැයි කියා නම නියම කරන්නෙ. ඔයා ගේ නොවෙයි මිත්‍රයා, සත්පුරුෂයන් ළඟපවත්නා මේ රහසත් දැන ගන්න.
ධනය උපයන්නට දරණ වෙහෙස මහන්සි නිසා අප්‍රමාණ දුක් විඳින්නට සිදු වෙනවා. ඒවා වැනසේ නම් හූල්ලා වැටෙමින් තැවෙනවා. ධනය ලැබී සැප විඳින විට මුලාවට පත් වෙනවා. මේ කරුණු දෙස බලද්දී මේ ධනයෙන් ලැබෙන සැප කුමක්දැයි සිතෙනවා. තවත් තියෙනෙවා එමට කියන්ට කරුණු මේ සම්බන්ධයෙන්.
යමෙකු ධනය ඉපැයිය යුත්තේ ලෝකයාගේ හිත සුව පිණිස යි. අන්න බන්දා ආශාවන් ප්‍රහීණ කළ පුණ්‍යවන්තයෙක් ලෙසින් සැලකෙනවා. මෙය නොසලකන්නන් වැරදි ලෙස ක්‍රියාමාර්ග ගන්නවා. එසේ මඩ තවරා ගෙන, හෝද හෝද කරදර වෙනවාට වඩා නරක ද මඩ ගොඩට බැස නොඑරී හොඳ මාර්ගයක යාම?
පියා සලන කුරුල්ලන් තමන්ට අවශ්‍ය කෑම සොයා ගන්නේ එක්තරා ලතාවකට. ගොඩ බිම සිටින අනිත් සතුනුත්, ජලයේ හැසිරෙන අයත්, එසේම තමන්ගේ වපසරි තුළ කෑම සොයා ගියත්, පෝසතා සෑම තැනකම ඇති ඒවා පොදි ගසා ගැනීමටයි හැම විටම සැරසෙන්නේ.
සියළුම සත්ත්වයන්ට එකම මාරයාගෙන් පමණක් එක් වරක දී කාලයකින් මරණය ලැබේ. එහෙත් පෝසතාට රජුගෙන් අයබදු, දියෙන් කුණු වීම්, ගින්නෙන් දැවීම්, හොරුන්ගෙන් පැහැර ගැනීම් නෑයන්ගෙන් නිතර භය වැනි අකාල මරණ සැමදාම විඳින්නට සිදුවෙයි. ධනය උපයන්නාට කොතරම් ධනය ලැබුණත් දැන් ඇතැයි කීමක් නැත. ලැබෙන්නට ලැබෙන්නට තව තවත් ගැරිය යුතු යැයි සිතෙයි. ඔහුගේ ආසාවේ කෙළවරක් දැකිය නොහැකිය. සංසාරයම දුක් ගොඩකි. නමුත් පෝසතා මැරෙන්නට පෙරම විඳින්නේ අප්‍රමාණ දුක් කන්දරාවකි. සහෝදරයා මෙන්න මේ ටිකත් අසන්න. ඇත්තම කියනවා නම් ධනය යනු පහසුවෙන් ලැබිය නොහැකි දෙයකි. සොයා සපයා ගත් ධනය දහ දුක් විඳ රැකගත යුතු ය. තමන් සතු ධනය යම් හෙයකින් වැනසුණහොත් එය මරණයට පත් වූවාක් වැන්න. අන්න ඒ නිසා ධනය ගැන හිත යෙදැවීම අප්‍රසන්න දෙයකි. කරුණු එසේ වේ නම්, සැවොම ධනය ඉපයීම අත්හැර දැමුවහොත් දිළිඳු දුප්පතෙකු සොයාගත නොහැකිය. එසේ නම් පොහොසතා කියන්නේ කාට ද? තෘෂ්ණාව මැඩලන්නට යමෙකු සමත්වුහොත්, ඔහු ඉදිරියේ දාසයෙකු වීම සැපතකි.