“ඔන්න ඔය කාරණා දන්න නිසා සැමියා කියන්නේ කුමක් ද එය නොපිරිහෙළා ඉටු කිරීමයි මගේ සිරිත.”
“ලාවණ්‍යා ඔයා ඔය කියන්නේ ඇත්තට ම ද?” දූතිය ලාවණ්‍යාගෙන් ඇසුවා.
“ඒකාන්තයෙන්ම කී දේ ඇත්තක්. ඒ ගැන සැකයක් හිතා ගන්න එපා!”
ලාවණ්‍යා වෙතින් ඉවත්ව ගිය දූතිකාව දුටු, කියූ කෙරූ සියල්ලක්ම තුංගබල ඉදිරියේ වාර්තා කළා. එම තොරතුරු ඇසූ තුංගබල ශෝකයෙන් ශෝකයට පත්ව මෙසේ කීවා.
“අනංගයා විසින් හිතක් පපුවක් නැතිව විදින ලද ඊ පහරෙන් ඔත්පල වූ මං මගේ රන්කඳ නැතිව කොහොම ජීවත් වෙන්ට ද? අනේ අපොයි දෙයියනේ මීට වඩා හොඳයි මං මළා නම්! දැවෙනවා පිළිස්සෙනවා කොහොම නම් මේ දුක ඉවසන්නට ද?”
“ඕකට නම් කරන්ට තියෙන්නේ එක දෙයයි මුදලාලි!” යි පණිඩුවකාරිය තම දක්‍ෂතාවය පෙන්වමින් කියා සිටියා.
“මො... මො.... මොනවා! ඒ කොහොම ද? අනේ කියාදියන් මගෙ අම්මා ඒ ක්‍රමය.”
“හොඳයි ලාවණ්‍යගෙ සැමියාම ඇයව ගෙනවුත් පංගාර්තු (පංගනාතු) කළොත්?”
“ඒක ඉතින් මේ කපේ සිදු වෙන්නක් ද බං! මොන මිනිහද කැමති වෙන්නේ තමන්ගේ ගෑණි ගෙන ඇවිත් වෙන මිනිහෙකුට භාර දෙන්න?”
“ඒකටත් ක්‍රම විධි තියෙනවා - උපාය කියන එක ඕනෑ ඔන්න ඔය වෙලාවට! ඇයි අහල නැද්ද මේ උපදේශය?”
උපායයෙන් කළ යුතු දේවල් කඩු පොලු වලින් කරන්ට බෑ. උපායශීලීව කටයුතු කිරීමයි දස්සකම. මඩ වගුරක ගිය නරියෙකු බල සම්පන්න ඇතෙකුත් මරා දැමුවා නේ. ඉතින් කදිමට ගෙදරක ඉන්න එකියක් උස්සන එක මහ කජ්ජක්යැ.
“මොනවා! එහෙම දේවලුත් වෙනවා ද? වුණා ද? අනේ කියන්නකෝ බලන්ට ඒකෙන්වත් උපදේශයක් අරන් අර මගේ රන් කෑල්ල මේ කූඩුවට ගෙන්නා ගන්ට මඟක් පෑදේ දැයි බලන්ට!” යි තුංගබල ඇවිටිලි කිරීමෙන් අනතුරුව කපුකම්කාරී මහළු නරියා සහ ඇතාගේ කතාව මෙසේ කියන්නට පටන් ගත්තා.