ඇතා වගේ ද ‘නරියා’.
බ්‍රහ්මාරණය නමින් හැඳින්වුණේ මහා ඝන වනාන්තරයකි. එහි නානා මාදිළියේ වර්ගයේ සතුන් ජීවත්වූ අතර ඔවුන් අතුරෙන් කර්පූර්තිලක නමින් ප්‍රසිද්ධව සිටියේ හැඩි දැඩි ඇතෙකි. මෙම ඇතා දුටු වනවාසි සිවලුන් විසින් මෙසේ සිතනු ලැබිණි.
මේ ඇතා මොන උපායකින් හෝ මරා ගත්තොත් අඩමානයක් නෑ හාර මාසයකට ඇති යහමින් කා ජීවත් වෙන්ට.
සිතිවිල්ල ක්‍රමයෙන් සිවලුන් අතර ප්‍රසිද්ධ විය. එහෙත් කර්පූර්තිලක මරා ගන්නේ කෙසේදැයි යන්න සියල්ලන් හටම බලගතු ප්‍රශ්නයක් විය. ඊට සුදුස්සා කවරෙක්දැයි විමසිලිමත් වෙමින් සිටිය දී මහළු සිවලෙක් ප්‍රසිද්ධියේ ම මෙසේ ප්‍රකාශ කළේය:
“කර්පූරතිලක විශාල ඇතෙකු බව සැබෑව. එහෙත් මගේ බුද්ධි බලය ඊට වඩා විශාලයි. ඔය හාදයා මරා දැමීම මට කජු කන්නා වගේ වැඩක්.”
එය අසා සිටි තරුණ හිවලුන් මහ හඬින් සිනා සෙන්නට වන. ඒ මදිවට එක එක අනං මනං කියන්නට පටන් ගත්තේ මෙ ලෙසිනි.
“වළපයයි ගොඩ පයයි, ඒත් හදන්නේ ඇතෙකු මරන්න - ඉන්දකිං (ඉඳකිං) වත් පඟර නැට්ටා. හොට බිම ඇනෙන තෙක් බැරිවුණා ගෑනියක් ගන්ට; ඒත් බලහල්ලකො මහ පිරිමි කමක මහත!”
සෙස්සන්ගේ අවලාද කතා අසා සිටි මහළු හිවලා මෙසේ කීවා අභීත නාදයෙන්:
“යකුනේ පැහිච්ච පොලේ තමා තෙල් තියෙන්නේ. ලා පොල්වල ලොඳ විතරයි තියෙන්නේ. උඹලත් අන්න ඒ වගේ ලොඳයෝ. ඔන්න එහෙනම් බලහල්ලා ඔය ඇතා බිම දිරිගස්වන හැටි.” යි කියා සියල්ලන්ටම අභියෝග කර කළයුතු කටයුතු ඇරඹුවා. අකුලකට වැදී තනිවම සැලසුමක් සකස් කළා. ඒ අනුව සිවලා ගියේ ඇතා හමුවෙන්ට. ඇතා දුටු මතින්ම දෙදන - කටිය - දෙඅත් - පපුව - බුද්ධිය - හිස - වචනය හා දෘෂ්ටිය යන අංග අටම ක්‍රියාත්මක කර වැන්දා. ඉන් අනතුරුව මෙසේ ද කීවා.
“පස්වාන් දහසකට රජවෙන්ට දේවයන් වහන්ස! ඔබ වහන්සේගේ කරුණා ඇස මා වෙත යොමු කරන සේක්වා!”
“මීට පෙර මං උඹව දැකල නැහැ. කවු ද උඹ? මොකටද ආවෙ?”
“ස්වාමිනී, මං සිවලෙක්! වනවාසී සියළු සිව්පාවුන් එක් වී මං ඔබ වහන්සේ හමුවට එවන ලද්දේ තානාපතියෙකු වශයෙන්.”
“අර අහවල් උලව්වකට ද?”
“නෑ නෑ දේවයන් වහන්ස ඉලව්වකට නොවෙයි. මංගල්ලයක්!”
“ඈ බොල තොපි නරි. මං ඇතෙක්. නරිච්චියක එක්ක ඇතෙක් දීග මඟුල් කන රටක් තියෙනවා ද බොල?”
“පුල්ලෙයාර මුත්තා ම බලා ගන්ට ඕනෑ මේ අවනඩුව. මංගල්ලේ කියන්නේ විවාහයකට නොවෙයි. ඔටුනු පළඳවන මංගල්ලයක්!”
“කාට ද බොල? කියන මංගල්ලයක් කියහං වට වන්දනාවේ යන්නේ නැතිව!”
“එහෙමයි දේවයන් වහන්ස! තරහ අවසර, මේ වන විට රජදහනේ ඉන්න සිව්පා සතුන් රැස්වෙලා කථිකා කර ගත්තා රජෙකු නැතිව සිටීමේ ඵලයක් තියෙනවා ද? සතුන් අතර සිදු වෙන අවතක්සේරු පසිඳන්නේ කවු ද? පිටස්තරයෙක් ඇසුවොත් ‘කවුද උඹලගෙ රජා?’ කියල, කවුරුන් කියා කියන්නට ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න නගලා තමා මාව ඔබ වහන්සේ හදි ගැහෙන්ට එව්වේ.”
“ඉතින් මට මොකක් ද කරන්න කියන්නේ?”
“කරන්ට තියෙන්නේ කැමති වෙන එක විතරයි - අපේ රජු ලෙස අභිෂේක ලබන්ට. ඒ මෙන්න මේ කාරණාව නිසා උතුමාණෙනි!”
යමෙකු කුල කීර්තිය, හික්මීම, හැසිරීම යන අංගයන්ගෙන් ඉතා පිරිසිදු නම්, තෙදවන් නම්, ධාර්මික නම් හා නීතිය ගැන කුශලතා ඇති නම්, එබන්දන් ද රජකමට සුදුසු වන්නේ ය.
එපමණක් නොවෙයි, තවත් දේවල් තියෙනවා මෙන්න මෙහෙම: