පළමුවෙන්ම විය යුත්තේ රාජ පදවියේ අභිෂේක ලැබීමයි. දෙවනුව මහේෂිකාව සොයා ගත යුතුයි. ඊළඟට ධන, යස ඉසුරෙන් විරාජමාන වීමට හැකි වෙයි. ඉතින් රජෙකු නොවුණොත් මෙහෙසියක් කොහින් ද? ධන සම්පත් ලැබේ ද?
මේ ගැන කියන්නට තවත් දේවල් තියෙනවා ස්වාමිනී.
රජෙකු කියන්නේ වැස්ස මෙන් සත්ත්වයන්ට පිහිටාධාර ලබා දෙන්නකි. එහෙත් වැස්ස නැතොත් සත්ත්වයන්ට ජීවත් විය හැකියි. නමුත් රජෙකු නැත්නම් ඒ ජීවිතය අසාරයි.
දේශයක පවත්නා සියළුම චංචල නිශ්චල දෙයෙහි එකම අයිතිකරුවා රටේ රජුය. එබැවින් රට වැසියා සියළුම ක්‍රියා කරන්නේ රාජ නීතියට අනුකූලව බියෙන් සහ සැකයෙන්. එසේම යහපත් සේ ජීවත් වෙන්නන් ලෝකය තුළ දුර්ලභයි. මේ නිසා ස්ත්‍රී වර්ගයා මෙලොව දී සහ පරලොව දී ලබන දඬුවම්වලට බියෙන් කෙට්ටු විරූපී රෝගී දිළිඳු යන භේදයක් නැතිව කවරෙකු සමඟ හෝ ජීවත් වීමට පුරුදු වී ඇත.
“දේවයන් වහන්ස, අප සියල්ලන්ටම දැන් ඇත්තේ ඔබ වහන්සේගේ පිහිට පමණයි. අන්න ඒ නිසා දැන් යෙදී තියෙන්නේ සුභ මුහුර්තයක්. තවත් අහු පහු වුණොත් ඒ වටිනා නැකත ඉක්ම යනවා. ඒ නිසා අප කෙරෙහි ගත් කරුණාවෙන් උත්සව සභාවට වැඩමවන්ට ඕනෑ.” යි කී මහළු සිවලා රාජාචාර දක්වා පිටවී ගියේය. රාජ්‍ය ලෝභයෙන් මුසපත් කර්පූර්තිලක ඇතා සිවලා කී මාර්ගයෙන් දුවමින් යන්නේ එරුණා මඩවලක. තමන්ට සිදු වූ ඇබැද්දිය ගැන සලකා බැලු ඇතා මෙසේ කීවේ ය.
“ඒයි, මගේ මිත්‍ර සිවල් නයිදේ. බලනවකො ටිකක් පස්ස හැරිල. මං එරුණා නොවැ මඩේ! මොකද්ද මගේ අප්පා දැන් කරන්නේ. මෙහෙම හිටියොත් මගේ පණත් යාවි.”
ආපසු හැරී බැලු නරියා මහ හයියෙන් සිාසී මෙසේ කීවා.
“හරි අබග්ගයක් (අභාග්‍යයක්) නොවැ වුණේ, දැන් ගොඩ එන්ට තියෙන එකම මග මගේ වල්ගයේ එල්ලීම පමණයි. මං වගේ කෙනෙකුගේ වටිනා උපදෙස් පිළිගත් නිසා දැන් ඉතින් අසරණව දුක් විඳින එකයි ඇත්තේ!”
ඔන්න ඔය වගේ සොයා නොබලා කටයුතු කිරීමෙන් සිදුවෙන විපත්ති ගැන මෙන්න මෙහෙම නීති පොත්වල ලියා තිබෙන්නේ:
දුර්ජනයන් ආශ්‍රය නොකරන්නාගේ ජීවිතය සරු සාර වෙනවා. එහෙත් දුර්ජනයන් ආශ්‍රය කරන්නාගේ ජීවිතය අගාධයට විනාශයට පත් වෙනවා. මඩගොඩෙහි එරුණ ඇතා දින කීපයකින් මිය ගියේ ය. එය සිවලුනට අවුරුදු ලැබුවාක් වැනි විය. ඇත් මසින් කුස පුරවා ගත් සිවල්ලු, තමන්ට එවන් වාසනාවක් උදා කර දුන් මහළු හිවලාට මුව නොසෑහෙන සේ ස්තූතිය පුද කළේ ය. අන්න ඔය කාරණය නිසා තමා මං කියා සිටියේ “උපායෙනහි යච්ඡක්‍යම් ඉත්‍යාද” යන ආප්තය.
ලාවණ්‍යා සමඟ සම්බන්ධකමක් පවත්වා ගන්නට යොදාගත් කුට්ටනිය හෙවත් පණිවුඩ කාරියගේ උපදෙස් පිට රාජ පුත්‍රයා කළේ ලාවණ්‍යාගේ සැමියා වන චාරුදත්තෂ සේවකයෙකු බවට පත් කිරීමයි. ඉන් අනතුරුව රාජ පුත්‍රයා නිතරම තමන් වෙනුවෙන් චාරුදත්ත විවිධ කාර්යයන්හි යොදවනු ලැබිණි. එයින් ඔහු අතිශයින්ම ප්‍රීතියට පත්ව රාජපුත්‍රයා කෙරෙහි විශ්වාසය තැබීය.
එසේ දින කීපයක් ගත වී ගියේ ය. දිනක මනාකොට ඉස් සෝදා ස්නානය කර රන් රුවන් ආභරණවලින් සැරසුණ රාජපුත්‍රයා චාරුදත්ත ඇතුළු පිරිසට මෙසේ කීය.
“අද සිට මාසයක් මුළුල්ලේ මං ගෞරීව්‍රතය ආරක්‍ෂා කරනවා. ඒ සඳහා වේදයේ නියමය පරිදි එක් රැයකට එක් එක් කුලකතුන් ගෙනවුත් ගෞරී දේවිය වෙනුවෙන් ඔප්පු කළ යුතුයි. ඇය ශාස්ත්‍රයේ නියමයන්ට අනුකූලව පූජා විධි පැවැත්විය යුතුය.”
රාජපුත්‍රයාගේ නියමය පරිදි එතැන් පටන් සෑම රාත්‍රියක් සඳහාම කුලකතුන් සොයා ගෙන අවුත්, ගෞරී ව්‍රතය වෙනුවන් ඔප්පු කිරීම චාරුදත්තට භාර රාජකාරිය විය. එසේ නියෝගය පරිදි කතුන් සැපයූ චාරුදත්ත, තමන් රැගෙන එන කතුන්ට රාජපුත්‍ර තුංගබල කුමක් කරන්නේදැයි හැංගී රහසින් බලා සිටියේ ය. තුංගබල තමන් වෙත ගෙන ආ කතුන්ගේ අතිකින්වත් නොඅල්ලා දුර සිටම රෙදිපිළි සුවඳ විලවුන් ආභරණ වලින් පුදා, එවෙලේම ආරක්‍ෂකයාට භාර දී පිටත් කර හරී. එම අසාමාන්‍ය්‍ය ගෞරීව්‍රතය දුටු චාරුදත්ත වෙළෙන්දාට ඇති වූයේ අප්‍රමාණ ලෝභ සිතුවිල්ලකි. රාජ පුත්‍රයා දෙන නොයෙක් තෑගි බොග දුටු ඔහු කල්පනා කළේ “මෙතරම් වස්තු කන්දරාවක් කොහෙන්දෝ නැති ගැහැණුන්ට යද්දී කුමකටද උඩ බලාගෙන සිටින්නේ? තම බිරිඳ ව්‍රතයට ගෙන ආවොත් ඇයටත් මෙමබ වස්තුව හිමි වෙනවා නේ” යි සිතා ලාවණ්‍යවතී කැඳවාගෙන අවුත් තුංගබල ඉදිරියේ ඔප්පු කළේ ය.