“දේවයන් වහන්ස! බඩු ම තමා ගුහාවේ ඉන්නවා හැංගිලා. තමුන්නාන්සෙ වඩිනවා
දැක බය වෙලා හැංඟෙන්නට ඇති. මං අල්ලාගත්තෙත් ඔතනින් පැනලා ඇවිත්.”
සිංහයා ගියා වහා ම ළිඳ ළඟට. එබුණා-දුටුවා සිංහ මුහුණ. ගෙරෙව්වා
කෝපයෙන්. නැගුණා දෝංකාරය දෙගුණ වෙලා. අසූ හාරදාහට කෝපය නැග්ගා. ගහන්නම් බරු කියා
හිතාගෙන පැන්නා සිංහයා මතට. පැන්නා තමා ඉතිං ගිලුණා දියේ, මළා සිංහ රාජයා.
“ඔන්න ඔය කාරණය නිසා තමා පණේ මං ඔයාට කීවේ ‘බුද්ධිඃ යස්‍ය’
කියන උපහැරණය.” යි කවුඩා කී පසු කැවිඩිය සිය පණ වන් සැමියාට දිග ම දිග හාද්දක්
දුන්නා ය. කවුඩු තුරුලේ සැනසෙමින් මෙසේ ද කීවාය:
“බලන්ඩකෝ අනේ ඔයා හරී.... නරකයි!”
“අප්ප ද බොල ඒ මොකෝ?”
“කොහෙ ද ගිය සිංහයෙක් ගැන කියවනවා. අපේ දරුවන් කා දමන මේ කළු නයා මරා
ගන්නා උපායන් කියන්ටකෝ!”
“ඒකට තමා මං මේ වටමුළු කඩන්නෙ. කලබල නොවී අහගෙන ඉන්නකො චුට්ටක්. ඔයාට
පේනවා නේද අර තියන පොකුණ?”
“මොකෝ නො පෙනෙන්නේ? ඔය තියෙන්නේ අගේට. මල් පිරිලා –නිල්වන් දිය දහර.
ඉතිං ඒක හිස් කරන්ට ද කල්පනාව?”
“ඒ මෝඩ කමෙන් පිරිලා ඉතිරිලා ඉහවහා ගිහිල්ලා. ගොන් බඳින කනුව!”
“ඒයි මට ද ඒ කිව්වේ?”
“මං හීනයකින්වත් ඔයාට එහෙම කියනව ද? මං කිව්වේ ඔය පොකුණ හදපු
මනුස්සයා ගැන!”
“ඉතින් ඉතිං තියෙනවා පොකුණක්.”
“ඔය පොකුණේ නාන්න එනවා හැමදාම රාජකුමාරයෙක් – ආරක්ෂක භටයන්
පිරිවරාගෙන.”
“ඉතින් අපේ දරුවන් හදාගන්න ඒ කුමාරයාට දෙන්ඩ ද කල්පනාව?”
“අනේ හැබෑට කියන දෙයක් අහගෙන ඉන්නේ නැති හැටියක්. මොකෝ කට කහනව ද?”
“හරි හරි, කුමාරයා නාන දිහා මං බලන් ඉන්නවා!”