103. හිතෝපදේශය | 02 | බඩු ම තමා ගුහාවේ

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

දේවයන් වහන්ස! නේත්‍රයෙන් බලා වදාරන්නට ඕනෑ ඔය ඇමතියන් කියන එකාලා විඳින සැප සම්පත්. සැප ලැබෙන්නට ලැබෙන්නට කේප්ප හරක් වගේ ආරණවා – මොළෙත් ඉතිං උන්ගෙ වගේ ම තමා. මෙන්න ඊට කියා ඇති නිදර්ශනය:

තමන්ගේ රාජෝත්තමයාණන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වූ විට සිය පණ පිදිය යුතුයි. රජු යමකු කෙරෙහි සැක ඉපදුවහොත් සිය ගෙළ සිඳ ගත යුතුයි. රාජ්‍ය පැහැරගන්නට යමකු ආවොත් පණ පුදා හෝ මව් රට රැක ගැනීම සේවකයන් විසින් අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු ක්‍රියාවක්.

තමන් වහන්සේ වෙනුවෙන් යම් යම් නීති තර්කයන් පෙන්වා කරුණු කියාපාන දමනක සිංහ රාජයා කරුණාවෙන් බලා මෙසේ විමසිය:

දමනක ඔය වටමුල් කඩන්නෙ කුමක් ගැන කියන්න ද? අස්කොන් පස්කොන් නැතිව කියමු බලන්ට කියන්න ඇති දේ බයක් තැති ගැනීමක් නැතිව.”

“දේවයන් වහන්ස! සංජීවක හැසිරෙන්නේ රාජ උත්තමයාගේ අණ නියෝගය අනුව නො වේ පුදුම හිතුවක්කාර කමකින්. අප ඉදිරියේ කරන ප්‍රකාශ අන්තිම භයානකයි, නින්දිතයි. එයා දේව පදයාණන්ගේ තුන් බලයට ම අභියෝග කරනවා. එයාගේ සූදානම මේ ස්ථාවර රාජ්‍යය තුළ භේද ඇතිකර ඒ මතින් රජ වෙන්ඩ. ඔන්න මට දැනෙන පෙනෙන ඇසෙන ඇත්ත. ඒ ගැන සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම උතුමාණන් වහන්සේගේ අභිප්‍රාය අනුව සිදු වේවා!”

දමනකගේ කතාවෙන් පිංගලක රජු විමතියට පත්වූයේ ය. භයක් හා සන්ත්‍රාශයක් ඇති කර ගත්තේ ය. සිත ද භ්‍රමණය වන්නට පටන් ගති. එබැවින් දීර්ඝ කල්පනාවකට පත් වැ අවිනිශ්චිත ස්වභාවයක් ඉරියව්වලින් දක්වන්නට පටන් ගත්තේය. රජාගේ ඉරියව් ගැන තීක්ෂණ අයුරෙන් විමසුමක් කළ දමනක රජා ගණනට මෙල්ල වී ඇති අයුරු වටහාගෙන නැවත ද ගතු කේළාම් කීම ඇරඹීය.

“සමාවී වදාරන්ට ඕනෑ ස්වාමිනි! මේ සියලු හුට්ටප්පරවලට මූලික හේතුව තමා ආවතේවයට සිටි හිතවත් පැරණි අමාත්‍යවරුන් පන්නා දමා උගත් යැයි සම්මත බහුභූතයන්ට සියලු රාජ්‍ය පදවි පිරිනැමීම. විශේෂයෙන්ම සංජීවක කියන ගොං තඩියා දන්නෙ අහවල් දෙයක් ද? ඌ දන්නා එක ම දේ තණකොළ උලා කෑම. ගොරව ගොරවා හතරගාතේ දාල නිදා ගැනීම. අන්න එතනයි දෝෂය. නීති විශාරදයන් ඔය ගැන කරුණු දක්වා තියෙන්නෙ මෙන්න මෙහෙම:

ශ්‍රියාකාන්තාවගේ ආදරයත් ගෞරවයත් ලැබෙන්නේ දියුණුවෙන් දියුණුවට පත් වෙන පුද්ගලයන්ට. රජවරුන් සහ ඇමතියන් යස ඉසුරෙන් බබළන විට ශ්‍රියා කාන්තාව කරන්නේ ඔවුන්ගේ දෙපා බදා ගැනීම. බැරිවෙලාවත් ඇමතියෙකුගේ බලය වඩා වර්ධනය වෙන අයුරු දුටුවොත් අන්න ඒ පස්සෙ ඇය යනවා. ශ්‍රියා කාන්තාව කියන්නේත් ගැහැණියකට නේ දේවයන් වහන්ස! ඉතින් ඇය කරන්නේ රජුගෙයි ඇමතියාගෙයි බර උහුලා ගන්නට බැරිව එක් අයෙකු අතාරිනවා. ඒකෙ අදහස උතුමාණනි, ඔබවහන්සේගෙ ශ්‍රී විභූතියට වඩා ගව් ගණනක් උසට සංජීවකගේ යස ඉසුරු වැඩිලා කියන එකයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll