යමෙකු කාට හෝ ප්‍රියමනාප වුණා නම් ඔහු මොන වරදක් කළත් දඬුවම්දීමක් හෝ
නො සලකා හැරීමක් කරන්නේ නෑ. ඒ හරියට තමන්ගේ සිරුරේ මොකක් හෝ අංගයක් රෝග පීඩාවලින්
පෙළුණාට කපා ඉවත දමන්නට කිසිවෙකු කැමති නො වන්නා වගේ.
ඔය ගැන සිතිය යුතු තවත් කරුණු තියනවා මෙන්න එයින් එකක්:
“කවරෙකු හෝ තමන්ට ප්‍රිය මනාපයි. මොන මොහොතක හෝ ඔහු අමතන්නට අප්‍රිය
දෙයක් කරනවා. ඉතින් අර තිබුණු ප්‍රිය ගතිය පහව යනව ද? ගෙට ගිනි ගත්තා. තිබ්බ
සකලමනාව ම ගින්නෙන් අළු බවට පත්වුණා. මොකෝ කවුරුහරි ගින්නට පරිභව කරනවා ද? නැවත ඒ
ගින්නෙන් ප්‍රයෝජන ගන්නේ නැද්ද? අන්න ඒ වගේ.”
පිංගලකගේ එම කියමනට එරෙහි වූ දමනක: “දේවයිනි, අන්න එතැන තමා ලොකුම
වරද තියෙන්නේ. අප කරන බලවත් ම වරදත් දෝෂයත් ඒක ම තමා. ඇයි මං එහෙම කියන්නෙ – මෙන්න
මේ නීති උද්ධෘතය:
පාලන භාරය උසුලන රජතුමා යම් දරුවකු, නැත්නම් ඇමතියෙකු, එසේත් නැත්නම්
මධ්‍යස්ථ මතධාරියෙකු වෙත දෑස් නිතර නිතර යොමු කරනවා නම්; අන්න ඒ ඇස් වැදුණ අයට ශ්‍රියා
කාන්තාවත් බැල්ම හෙළනවා.
දේවයෙනි, අපට සමහර දේවල් අප්පිරියයි. ඒත් හිතකර දේවල් කෙරෙහි ඇත්තේ
තද ඇල්මක්. ප්‍රිය වචනයෙන් කතා කරන්නට කියන දෙයක් දේව භාෂිතයක් ලෙස අසා සිටින්නාට
නොයෙක් සැප සම්පත් තාන්න මාන්න ලබා දෙන්නේ අර ළෙන්ගතු බව නිසා.
අපෙන් පසු රාජකාරියේ යෙදුණු උපදේශකයන් ඔබ වහන්සේට සමාජ තත්ත්වය ගැන
නිසි උපදෙස් දීල නෑ. අන්න ඒ නිසා කාලයක් ඇසුරු කළ සේවකයන් පන්නා හැර මේ කොහෙදෝ
පාත් වුණ ඇඟපත මිසක් මොළේ කළඳක් නැති ගොන් තඩියෙකුට ප්‍රධාන අමාත්‍ය පදවිය දීලා
කටයුතු කරන්නේ. ඒක තමා රාජ්‍ය පරිපාලනය පිළිබඳ නරක ම නරක පූර්වාදර්ශය. යම් රාජ්‍යයක්
තුළ එවන් දෙයක් සිදු වුවහොත් ඊට ලැබෙන ප්‍රතිවිපාක නීති ශාස්ත්‍රයේ කියා තිබෙන්නේ
මෙන්න මෙහෙමයි:
පළපුරුදු සේවකයා කාර්යාකාරයෙහි විචක්ෂණයෙකි. තමන්ගේ බලය තහවුරු කර
ගැනීම පිණිස නෑයන් හිත මිත්‍රයන් හා ආවඩන්නන් මෙන් ම ධනපතියන් ළං කරගත්තොත්, අතර
මඟ දී හමුවෙන ආගන්තුකයන් මුදුණන් කළොත් එය රාජ්‍යය භේද-භින්න කරන බලවත් ම දෝෂයකි.”
දමනකගේ තර්ක අසා
සිටි පිංගලක නැවතත් මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය:
“පුදුම කතාවක් නොවැ දමනක ඔය කියන්නේ. සංජීවකට අභය දානය දුන්නේ මම. රාජ්‍ය පාලනයේ වැදගත් තනතුරකට පත් කළේ මං. එයාගෙ තත්ත්වය සුදුසු ආරක්ෂක විධිවිධාන සැළසුවෙත් මං. එවැනි ගරුත්වයක් ලබා දුන්න මට එරෙහිව සංජීවක යුද්ධ ප්‍රකාශ කරයි ද? මේක උඹේ මනස්ගාතයක් බං.”