106. හිතෝපදේශය | 02 | බඩුම තමා ගුහාවේ

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

රජුගේ ඒ කීම අසා සිටි දමනක තවත් නීති සිද්ධාන්තයක් ඉදිරිපත් කළේ කෙසේ හෝ සංජීවක විනාශ කර දැමීමේ අරමුණ ඉටු කර ගනු පිණිස ය:

“දුර්ගුණ ඇත්තා දුර්ජනයා. එය මානසිකව ඇති වී සකල ශරීර අංගයන් තුළ ම ලේත් සමඟ මිශ්‍ර වී පවතින තත්ත්වයක්. ලබා දෙන තනතුරු තෑගිබෝග බාහිර ආටෝපයන් පමණයි. අවංකකම ඒවායේ රැඳී නෑ. ඉහළ ම වටිනාකමක් සහ ගුණ ඇති ඖෂධ එකට ගෙන කොටා තම්බා පොට්ටනියක් බැඳ රාජෞෂධ වන තෙල් ගා මිරිකා තැව්වත් බලු නගුටේ වකය – ඇදය දිගහැරෙනවා ද? අන්න ඒ වගේ ම තමා දුරජනයාගේ ගති සිරිත් කවදාවත් යවන්නට බැහැ.

හොඳ ම තැවිලිවලින් තවලා, ශාස්ත්‍රානුකූලව සම්බාහනය කරලා, බෙහෙත් ගල්වන ලද පටවලින් වෙළලා කෙලින් කර ඇති බලු වලිගය සොළොස් අවුරුද්දක් ගත කරලා ලිහා බැලුවත් දැකගන්නට ලැබෙන්නේ බල්ලා දෙසට නැවී ඇති බලු වලිගය ම යි.

කන්නට බොන්නට දී උස් මහත් ශක්තිසම්පන්න කරනවා, වෙද හෙදකමින් නීරෝගී තත්ත්වයට පත් කරනවා, සමාජය ඉදිරියේ ගරු බුහුමන් ලබන්නට අවශ්‍ය අධ්‍යාපනය ධනය දේපොළ මදි නො කියන්නට දෙනවා, නමුත් දුර්ජනයා කවදාවත් එම ලාභ ලෝභයන්ගෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒකට දෙන්නට ඇති හොඳ ම උදාහරණය තමයි; දිය-පෝර-කිරි වක්කර හදාගන්නවා විෂ ගහක්. එහි ඵල වැලත් විෂ වෙන්නා සේ දුර්ගුණිකයා තමා සත්පුරුෂයකු නො වන්නේ.

උතුමාණෙනි, යම් යම් පුද්ගලයන්ගේ ඕනෑ-එපාකම් ගති-සිරිත් විවිධයි විෂමයි. කළ යුතු දෑ නො පමාව ඉටු කරන අය වගේ ම තමන් කරන බව පෙන්වන උදවියත් අප්‍රමාණව ඉන්නවා. පෙරහැරේ යන්නේ ඒ අය. හරියට යමක් කරන්නා පෙරහැර ගිය මාවතේ වැටුණු කුණු රොඩු එකතු කරනවා. ඒකයි නියම මනුෂ්‍යත්වය. නීතියේ දක්වා ඇත්තේ මෙහෙමයි:

තමන් කෙනෙකු ආශ්‍රය කරනවා. ඔහු දැනුවත්ව හෝ නො දැනුවත්ව ම විනාශයට පිරිහීමට පත් වන අයුරු සැබෑ මිතුරා බලා සිටිනවා නම් ඒක වරදක් අපරාධයක්. ඇතැම්විට ඒ මිත්‍රයා තමන්ගෙන් උදව්වක් උපකාරයක් ඉල්ලන්නෙ නෑ. ඒ ‘මොකට ද කරදර කරන්නේ’ කියලා හිතලා. ඒත් සැබෑ මිත්‍රයා කරන්නේ පිරිහෙන්නට හේතු වන දොරටුව වසා දමා හිතවතා බේරා ගැනීම. ඒකට කියනවා සත්පුරුෂයන්ගේ ධර්මය කියල. විය යුත්ත කළ යුත්ත දැන දැන ම යමකු ඉවත බලා ගන්නේ නම් ඔහු මනුෂ්‍යත්වයට නිග්‍රහ කරන අසත්පුරුෂ අධර්මිෂ්ටයෙක්.

පාපී පුද්ගලයෙකු කරණ පාපයන්ගෙන් ගළවා ගන්නට තැත් කරන්නා කරුණා දයා ගුණයන් ගෙන් පිරුණු අයෙක්. තමන් කරන ක්‍රියා නීතියට සමාජයට එකඟ නම් ඒවා වරදවල් නො වෙයි. යම් කාන්තාවක් තමන්ගේ සැමියාගේ අවශ්‍යතාවනට අනුකූල ව හැසිරෙන්නේ නම්; ඇය ප්‍රිය-මනාප වූ තැනැත්තියක්. යහපත් අයගෙන් ගරු බුහුමන් ලබන්නේ ඥානවන්තයන්. ලැබෙන වස්තුවෙන් උඩඟු නො වන්නා ළඟ තමා හැම විට ම ශ්‍රියා කාන්තාව රැඳී සිටින්නේ. ආශාව තෘෂ්ණාව පාලනය කරගත් උදවිය සැප විඳින්නන්. ලාභ ප්‍රයෝජන නො තකා ආශ්‍රයට වැටෙන්නා තමා පරම මිතුරා. පසිඳුරන් නිසා විපතට පත් නො වන්නා ගුණවන්තයෙක්. උතුමාණන් සංජීවකගේ ගුණයහපත්කම් කියද්දී එය නො සලකා හැර අනං මනං කීම නියම සේවකයෙකුගේ ගතියක් නො වේ.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll