108. හිතෝපදේශය | 02 | බඩුම තමා ගුහාවේ

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“හා හා දේවයන් වහන්ස එසේ කරන්නට එපා. එසේ කළොත් රහසක් එළි කිරීමක් වෙනවා නේ. ඒ ගැනත් නීති පොත්වල සඳහන් වී තිබෙනවා. අපට හැකි වෙන්නට ඕනෑ නීතිය වුවත් අපට අවශ්‍ය ලෙස නවන්ට දිග හරින්ට වහන්ට එළි කරන්ට.

කරණු ලබන රහස් සාකච්ඡාත් ඒ අනුව ගන්නා ක්‍රියාමාර්ගත් කල් ඇතිව හෙළි පෙහෙළි කිරීම පාලකයෙකු විසින් නො කළ යුත්තක්. එය සීමා විය යුත්තේ රහස කී රහස ඇසූ දෙදෙනා අතර පමණයි. වෙනත් අයකු රහස දැනගත හොත් රහස්‍ය භාවය තුරන් වෙනවා. තුරන් වූ රහසක් ක්‍රියාත්මක කිරීමෙන් නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට පත් වෙනවා. අනෙක නම්, රහස් එළි කළොත් වරදකරුගේ කෙරුවාවල් වහ ගන්නවා යටපත් කරනවා. සිද්ධි අවුල් ජාලයක් බවට පත් කරනවා.

දේවයන් වහන්ස! මේ කාරණයත් ඔය සිද්ධියට ම අදාළයි. මේ කරුණුත් කාරුණික අවධානයට යොමු කරනවා:

ගන්නට යමක් ඇත්නම් කල් නො දමා කඩිනමින් ගත යුතුයි. දෙන්නට යමක් වේ නම් එය දීලා දැමීමත් වහාම කළ යුත්තක්. තමන්ගෙන් සිදුවිය යුතු මෙහෙයක් ක්‍රියාවක් වෙයි නම් නො පමාව එය සිද්ධ කළ යුතු ම යි. ඇයි එසේ කළ යුත්තේ? ඒ ඒ අවස්ථාවල එම කටයුතු පැහැර හැරීමෙන් සිදු වෙන්නේ ලැබිය යුතු රසය ප්‍රයෝජනය කාලය විසින් ම විනාශ කර දැමීමයි.

රහසක් සදාකාලයෙහි ම රැක ගන්නට හැකි නො වේ. සමහර විට රහස යෝධයකු වගේ ස්ථිර ශක්තිමත් වන්නට පිළිවන්. සකල අංගයන්ගෙන් පරිපූර්ණ කිසිවකුට හෝ සිද්ධි වාචකය තර්කයෙන් බිඳ හෙළිය නො හැකි ස්ථිරසාර අඩිතාලමක පිහිටුණක් ද විය හැකියි. එහෙත් රහස කාගෙන් හෝ හෙළි වේය යන බියක් නිසා දීර්ඝ කාලයක් පවත්වා ගෙන යා නො හැකි දෙයක්.

නීති ඡේදවල එසේ සඳහන් කර තිබුණත් සැබෑ සමාජය ඉදිරියේ එම නීති තර්ක නොගැළපෙන්නටත් හැකියි. හේතුව යමෙකු වරදක් කළ පළියට ඒ වරදට නිසි දඩුවම් දෙනවා වෙනුවට දොස් නිදොස් කර හරි මාර්ගයට ගන්නට අවශ්‍යයි කියා යමෙකු හිතුවොත් එයත් නො සුදුසු ක්‍රියාවක්. ඇයි එසේ  කියන්නේ? මෙන්න හේතුව:

වරක් සතුරුකම් කළ මිතුරා නැවතත් සතුරු කම් කරන්නට පසුබට වෙන්නේ නෑ. ඔහු නැවත මිතුරු කමට ආවේ කළාට වඩා විශාල සතුරුකමක් කරන්නට විය හැකියි. එසේ කල්පනා නො කර යමෙකු හතුරු වූ මිතුරා නැවතත් මිතුරෙකු කර ගන්නට සූදානම් වුවහොත් ඔහුට සිදුවන්නේ ගැබ්ගත් කොටළු දෙනට සේ අකාලයේ මිය යන්නයි.”

දමනකගේ තර්ක ගැනත්, ඔහු තුළ පැවති නීති විශාරද බව ගැනත් සිත යටින් සතුටට පත් පිංගලක උතුමාණන් මෙසේ ප්‍රශ්න කළේය:

“දමනක අප විසින් පළමුව සොයා ගත යුත්තේ සංජීවක ඇමති අපට එරෙහිව කුමක් ද කරන්නට යන්නේ කියන කාරණය යි. ඔහු විරුද්ධව එන්නේ කුමකට ද? කවදා ද? කොතැන ද? කොහොම ද? කියන කාරණාව. ඒවා වහා ම සොයා බලා වාර්තා කරන්නට මං නියෝග කළ බව අපේ සියලු ම බුද්ධි අංශවලට දැනුම් දෙන්න.”

“සමා වෙන්ට ඕන දේවයන් වහන්ස! නැවතත් අපේ සම්මන්ත්‍රණයට මුලට ගත යුතු නෑ. අපේ රාජ්‍යයේ කොහෙ ද හරියට ක්‍රියාත්මක වන බුද්ධි අංශයක් තියෙන්නේ? යමක් වුණාට පස්සේ තමා මහ වියතුන් බුද්ධිමතුන් ලෙස සමාජය ඉදිරියේ කෙළතොළු කතා කියන්නේ. ඒ නිසා මෙන්න මේ නීතිය ගැන අවධානය යොමු කරන්නට හොඳයි:

විරුද්ධ වාදියාගේ බලය සේ ම දුබලකම් පළමුවෙන් සොයා ගත යුතුය. එවිටයි ඔහුගේ සමර්ථකම් හා උපායන් දැන ගන්නට හැකි වන්නේ. ඒ නීතිය සනාථ උදෙසා කැටකුරුල්ලෙකු විසින් මුහුද කළඹන ලද බව ග්‍රන්ථාගත සාක්ෂියක්. එම වාර්තාවට අනුව කැටකුරුල්ලා කියන්නෙ පක්ෂීන් අතර පවා ඉතා කුඩා එකෙක්. මුහුද සප්තමහා සාගරයක්. සාගරයට එරෙහිව යුද්ධ කළ කැටයා ජයගත්තා.

“මොකක් ද බං ඒ කතාව. පුදුමයක් නො වෙයි විස්මයක්!” යැයි රජු ද විස්මයට පත් වීමෙන් අනතුරුව ජයග්‍රාහී සිනාවක් මුවඟට නඟා ගත් දමනක, කැටයාගේ කතාව කියන්නට පටන් ගති.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll