රජා ළං කර ගන්නේ මෝඩයන්.
ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ගමක් තිබුණා සිදම්බරම් නමින්. එහි සිටියවුන් සිය ජීවිකාව ගෙන ගියේ මුහුදේ මාළු අල්ලා විකිණීමෙන්. ගම පිහිටා තිබුණේ මුහුද අසළ ම. කොලු කුරුට්ටන් පවා චක්ගුඩු ගැසුවේත් මුහුදු තීරයේ වැලි තලාවේ.
ඔන්න ඔය කාලයේ වෙරළට නැවී තිබුණ ගසක කූඩුවක් තනා ගෙන වාසය කළා කැට
කුරුලු ජෝඩුවක් දීග තලග දෙන වයසේ රූමත් දියණියක් සමග. අවාසනාවේ මහත කුරුලු දියණිය
ගස මුදුණට වී ගීතයක් ගයමින් සිටිය දී නැග ආ මුහුදු දිය රැල්ලකින් මවුපියන් දෙදෙනා
ම ගසාගෙන ගියා ඈත දියඹට. තම මව් පියන්ගේ අකාල අභාවයෙන් ශෝකයට පත් කිරිල්ලිය දුක්
ගීතයක් ගයමින් සිටිය දී තරුණ මදයෙන් මත් වූ කුරුල්ලෙකු අහසේ පිනුම් ගසමින්
හැසිරුණු දුටුවා. තරුණ කැට කුරුල්ලා ද කිරිල්ලිය නො දැක්කා සේ තම පහන්කම් ප්‍රදර්ශනය
කරමින් බල්ටි ගස ගසා විවේකයක් ගැනීමට මෙන් කිරිල්ලිය සිටි ගසේ අත්තක වැසුවා.
කැට කිරිල්ලියත් ඔහු නො දිටියක සේ ගයන ශෝක ගීතයට එක් කළා ‘මවුපියන්ගේ
හදිසි අභාවයෙන් කාත් කවුරුත් නැතිව අසරණව සිටින තමන්ට පිළිසරණක් වෙන්නේ කවුද?
පිළිසරණ වෙන්නාට දිවි හිමියෙන් ආදරය සෙනෙහස පාමින් සුවච කීකරු ව සිටින බවත දෙවියන්
ඉදිරියේ පොරොන්දු වෙන්නම්’ කියා.
කැට කුරුල්ලා කල්පනා කළා ‘තමන්ට කියා මොකා ඉන්නවාට ද? මෙච්චර කල් චන්චාඩුවේ අතන මෙතන කරක් ගැහුවා මදෑ. අනික දුකට පත් අසරණියකට පිහිටවීම දේව ගුණයක් නේ. ඇයත් ලස්සනයි. කටහඬත් මිහිරියි. එහෙව් කෙනා සමග පැල්ගැහීම නාකවැයි’ කියා සිතා ගෙන හොරගල් අහුලමින් ඇවිත් වැසුවා කිරිල්ලියට පෙනෙන සේ නො දුරු අත්තක.