කොහෙ ද, කැටා කැටීගෙ චරු-චුරු තඹ දොය්තුවකට මායිම් කළේ
නෑ. තමන්ගේ ලොකුකමයි කෙරුවාවයි තමා කියා පෑවෙ. තමන් ආතක්-පාතක් නැතිව ඉඳිද්දී අත
දීපු මනුස්සයා නෙ කියා හිතාගෙන සණ්ඩු සරුවල්වලට නො ගොස් හිටි කූඩුවේ ම බිජු ලෑවාය.
කටාගේ ආඩම්බර කතා අසා සිටි මහ මුහුදත් ‘උඹේ ලොකු කමටයි බල පුළුවන්කාර කමටයි වැඩේ
දෙඤ්ඤං’ කියා හිතාගෙන මහා රැල්ලක් නංගා බිත්තර ටික මුහුදු පතුලට ම ඇද ගති. මෙයින්
අප්‍රමාණ සංවේගයට පත් කැට කිරිල්ලී සැමියා කෙරෙහි තිබුණු ආදරය සෙනෙහස මොහොතකට
පසෙකින් තබා වැළපෙමින් ආඩපාලි කියන්නට පටන් ගත්තාය.
“කී දේ නාහා මෙතැන ම පැල් ගැහී ඉඳීමෙන් වෙච්ච හරිය පේනව ද? කට කැඩෙන
කල් කිව්වා වෙන තැනකට යමු යි කියලා කෝ ඇහුව ද? පට්ටන්තරේ නම් තිබුණා මහ ලොකුවට.
අනේ මගේ දරුවන්ට වෙච්ච විපත්තියේ තරම උහුල ගන්නට බෑ දෙයියනේ! මං වගේ අවාසනාවන්ත
පව්කාරියක් මේ මිහිපිට නැතුව ඇති!”
“නාඩා ඉන්න මගෙ වස්තුවෙ. කරන්න ඕන දේ මං කොරඤ්ඤං. ඔන්න බලනවා මං අඹරන
ඇඹිරිල්ල.” යි කී කැටා වටාපිටාවේ සිටි සියලු කුරුලු වර්ගයන් කැඳවා තැබුවා විරෝධතා
රැස්වීමක්. අණක් ගුණක් නැති මුහුද නිසා සෙසු පක්ෂි ගණයාට ද සිදුවන විපත් පහදා දී
එයින් ගැළවීම උදෙසා සිය රජා වන ගුරුළු උතුමන් හමුවට ගොස් පැමිණිල්ලක්
කරන්නට තීරණය කළා. ඒ අනුව තෝරාගත් නියෝජිත පිරිස ගරුඬ මාලිගයේ දී ගරුඬේන්ද්‍රයාණන්
වහන්සේ බැහැදැක මෙසේ සැලකර සිටියා:
“දේවයන් වහන්ස! මායි මගේ අඹුවයි දෙන්නා බොහෝ ම ප්‍රීතියෙන් සතුටින්
සාමදානයෙන් ජීවත් වුණා. ඔබ වහන්සේගේ කරුණාවෙන් ආනුභාවයෙන් අපේ ඇත්තී බිජු හතක ලෑවා
– අනාගතයේ ඔබ වහන්සේගේ සේවයට අවශ්‍ය මෙහෙකරුවන් ලබාදීම පිණිස. එහෙත් මහා සාගරය කියා උදම් අනන පරාක්ෂයා ඔබ වහන්සේගේ
අනාගත සේවකයන් පැහැර ගත්තා විශාල ජල කඳකින්. දැන් ඒ දරුවන් සිටින්නේ මුහුදු පතුළේ.
ගෙදර එකී මාව කන්ට හදනවා ‘ගුරුළු රාජ උත්තමයාගේ සේවයට යවන්නේ කවුද? දේවයන් වහන්සේ
කුපිත වෙලා අඩ මානයක් නෑ අපට දඬුවම් කරාවි’ කියලා. අනේ මතු බුදු වෙන උත්තමයාණෙනි!
ඒ මේ මර උගුලෙන් මාව නිදහස් කරන ලෙස නව වැඳුම් වැඳ ඉල්ලා සිටිනවා.”
කැට කුරුල්ලාගේ දුක්මුසු අඳෝනා අසා සිටි ගුරුළු රාජෙන්ද්‍රයා; ලෝකය මවන–පවත්වා ගෙන යන–විනාශ කිරීම යන අවස්ථා තුනෙහි ම බලාධිකාරිය පවත්වා ගෙන යන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාගේ ඉහළ අධිකරණය ඉදිරියේ මේ අවනඩුව ගොනු කළා.