විෂ්ණු දෙවියන්ගේ උපරිමාධිකරණ සංකීර්ණයේ දී අවනඩුව විභාගයට ගැනිණි.
ගුරුලාධිපති නීතිඥයන්ගේ තර්කවලට එරෙහිව සාගරාධිපති නීතිඥයෝ කරුණු දැක්වූහ.
සිද්ධියෙන් දින තුනක් ඉකුත් වීමත් තාක්ෂණික දෝෂ නිසාත් විභාගයට නො ගෙන ම නඩුව විසි
කර දමන ලෙස සාගරාධිපතියෝ දැඩි ලෙස අයැද සිටියහ. “මේකලාගේ කංකරච්චලේ ඉවරයක් නෑ
බැහැපියව් දොට්ට.” යැයි ගෝලු ගා ගත් ශ්‍රී විෂ්ණු රාජෝත්තමයාණෝ කුරුලු
ජෝඩුවට අයත් බිත්තර වහා ම දිය යුතු යැයි මහුදට අණ කළහ. මුහුද ක්ෂණයකින් බිත්තර කැටා-කැටී
දෙපළට ලබා දුන්නේ සිදු වූ වරදට සමාව ද අයදිමින්. ඔන්න දේවයන් වහන්ස, ඔය කරුණු
කාරණා නිසා තමා මං “අංගාංගී භාව මඥත්වා” කියන නීති තර්කය ඉදිරිපත් කළේ.”
යැයි පිංගලක රජුට දමනක කියා සිටියේ ය. එම තර්ක වාදයන් අසා සිටි පිංගලක මෙසේ
ප්‍රශ්න කළේ ය:
“සංජීවක රාජද්‍රෝහියෙකු බව මොන ආකාරයෙන් ද දැන ගන්නට පුළුවන් දමනක?”
“ඇයි දේවයන් වහන්ස! සටනට එන පුද්ගලයාත්. නෑදෑ හිත මිත්‍රකම්
පවත්වන්නට එන්නාත් කවුරුන් හෝ ඉදිරියට යන්නේ එක ම විදිහට ද? තමුන්නාන්සේ
බැහැදකින්නට සංජීවක වෙනදා ආවේ කොහොම ද? හිස නවාගෙන වැඳගෙන ගෞරව පුරස්සර බැලුම් හෙළමින්.
එහෙම නැතිව දිග අං තට්ටුව සොලවා සොලවා වට පිට විපරම් කරමින් දෑස් රතු කරගෙන අහංකාර
පරවශ ආවොත් ඒ එන්නේ සතුටු සාමීචියට ද? ඒ ගැන විපරමින් සිටී ම යි කළ යුත්තේ.”
පිංගලකට එසේ උපදෙස් දුන් දමනක, තකහනියක්ම සංජීවක මුලිච්චි වන්නට ගියේ
ය. ඈත එපිට තණ උලා කමින් සිටි සංජීවක දුටු දමනක ගමන බාල කර ඕනෑ එපාවට මෙන් පියවර
මාරු කළේය. එහිදී ද කිසිදු විශේෂයක් නො දැක් වූ දමනක අහම්බයෙන් හදි ගැසුනූ බවත්
දක්වමින් ආසන්නයට ගියේය. දමනකගේ පැමිණීමෙන් ප්‍රමුදිත වූ සංජීවක ආදරබර සිනාවක් පා
සතුටු සාමීචිය ආරම්භ කළේය.
“ආයුබෝවන්ඩ, බෑරක් ද? කොහොම ද සැප සනීප කාරිය. ලෙඩක් දුකක් එහෙම නෑ
නෙ?”
“ඔන්න ඇහුවා ප්‍රශ්නයක්! රාජ සේවාවේ යෙදී ඉන්න අයට කොහෙ ද තියෙන්නෙ
ඉස්පහසුවක්? ඇඟේ පතේ අසනීප නැතුවට දහසකුත් එකක් ප්‍රශ්න නිසා ම හිතට ලෙඩ. රාජකාරි
අහවර කර ගන්නට බැරි වෙයි කියලා දුක. අපි ඉතිං රාජ සේවයට පණ නැහැල ඉන්න උදවිය නේ.
ඇයි අහල නැද්ද නීතියට අනුකූලව වැඩ කරන්නන්ගෙ තත්ත්වය:
රාජ්‍ය සේවකයන් උපභෝග පරිභෝග කරන සෑම වස්තුවක් ම අයිති අනුන්ට. ඒ
නිසා හැම දා ම හැම මොහොතක ම හිතට සැනසිල්ලක් නෑ. හේතුව අනුන්ගෙන් යැපෙන නිසා. ඒ
හන්ද ම ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අවිශ්වාසයෙන් ම යි. කොටින් ම කියතොත් වස්තුව
පමණක් නො ව පණ කෙන්දටත් මොන මොහොතේ අබ සරණ යන්ඩ වෙයි ද කියලා දන්නෙ නෑ. ඒ තමා රාජ්‍ය
සේවයේ හැටි.
තමුන්නැහේට දැනගන්නට මං කියන්නං. ඒ ඔබ රාජ්‍ය සේවයට බැඳුණේ ළඟ දී නේ. අපි එහෙමැයි පරම්පරාවෙන්ම රාජ සේවකයන් නේ. ඔය ගැන මෙන්න මේ වගේ කථාවකුත් තියෙනවා.