ධන ධාන්‍ය යාන වාහන හිමිකරුවන් අහංකාර නො වී සිටියේ මොන රටේ ද?
කම්සැප විඳින්නාට ආපදා විපත්ති. වගේ ම මළ බෙර හැඬ වෙන්නෙ නැද්ද? ස්ත්‍රියකගේ
ඇඟෑලුම්කම් වලින් මොන මිනිහගේ ද හිත නො කැඩුණේ. හදවතින් ම රජෙකුට මනාප පුද්ගලයන්
මොන දේශ දීපංකරේ ද සිටියේ? උපන්නවුන් අතුරින් මොකා ද මාරයා ගේ තුරුළට නො ගියේ?
අනුන්ගෙන් ඉල්ලා කන්නා කවදා ද ගෞරවයක් ලැබුවේ? දුර්ජනයන්ගේ කපටිකම් වලට අසු වූ
කවුරුන් නම් යහතින් ජීවත් වුණා ද? ඔය කොයි කාටත් ලැබෙන එක ම උරුමය මරණය පමණයි.”
දමනක ගේ වට වංගු කතාව සංජීවකගෙ හිතට මහ වදයක් විය. මොහු මෙසේ වටමුල්
බිඳින්නේ අහවල් කරුණකට දැයි සිතා ඒවාට හේතු යුක්ති දැනගනු රිසියෙන් මෙසේ විචාළේය.
“ඒයි යාළුවා හතර වටේ නො ගිහින් කීවනම් කාරණේ එක එල්ලේ ම. කැරකෙනවා ද
වැනසෙනවා ද කියන ලබ්බ තීරණය කරන්නට හැකි එවිටනේ.”
“ආයේ ඉතින් අහවල් කොස් ඇටයක් කියන්න ද? මං හරිම පව්කාරයෙක්! ඒකට
හේතුව මෙන්න මේවා:
ඔරුවක නැගලා යනවා මුහුදේ. මහා රළක් වැදී පෙරළුණා ඔරුව. දිවි ගලවා
ගන්නට වදෙන් පොරෙන් පීනනවා. ඉදිරියේ මුහුදු සර්පයෙක්. දිවි ගලවා ගන්නට ඌගෙ
එල්ලෙන්නට ද? එල්ලුණොත් උගෙන් මරණය. නො එල්ලුණොත් මුහුදු දියෙන් මරණය. අන්න ඒ වගේ
තත්වයක් ඇති වුණොත් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යථාර්ථය අනුව ක්‍රියා කළොත්
පාලකයන්ගෙන් බාධා හාදා කරදර විපත්ති. රජුගේ කැමැත්තට ඉඩදීමෙන් නෑ හිත මිතුරන්
අහිමි වෙනවා. මෙවන් තත්ත්වයක් යටතේ ඇති වෙන්නේ දෙගිඩියාව.”
එසේ සිද්ධාන්ත එකිනෙක විග්‍රහ කළ දමනක දීර්ඝ හුස්මක් පිටකර සංජීවකගේ
ඇරයුමෙන් අසුන් ගත්තේය. දමනක ගේ මුහුණ කළු වළාවකින් වැසී ඇති සෙයක් දුටු සංජීවක:
“හරි හරි යාළුවා මොන දේ වෙන්නෙත් අපට නේ. මොකෝ ඉතින් ගස් ගල්වලට
වෙන්ට යැ. ඔය හිතේ පැහැව පැහැව ඉන්න කරුණු කියා දැම්ම නම් අහක නේ. එතකොටයි හිත
සැහැල්ලු වෙන්නේ. නැත්නම් ඒක මානසික විප්ලවයක් බවට පත් වෙනවා.”
සංජීවකගේ එම කීමෙන් පොට පාදා ගත් දමනක හෙමින් සීරුවේ තම මුව ළඟට
ඔහුගේ කණ ළං කර ගෙන සිය සැලසුම ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය බේගල් ගොන්න හෙළි
කරන්නට පටන්ගත්තේය.
“මට හරි දුකයි මේ වෙන්නට යන දේවල් ගැන මෙහෙම කියන්නට සිදු වීම. හේතුව අප දෙන්නා අතර ඇති සහෝදරත්වය බැඳීම සෙනෙහස අල්ප ස්වල්ප දෙයක් නො වෙයි නේ. මගේ හිත පෑරෙන්නේ වද වෙන්නේ වෙනකක් නිසා නො වේ, මේ උලව් රාජ සේවයට ඔයාව පටලවා ගත්තේ මං නිසා. ඒ හන්දාවෙන් ඔයා වැටෙන්නට යන්නේ මහා අගාධයක. ඒකෙන් ගැළවෙන්න ජීවිතයත් මරණයත් අතර කෙරෙන සටනකින් මිස වෙන මාර්ගයක් පේන තෙක් මානයක නැහැ. මෙලොව පමණක් නො වෙයි පරලොව සුගතියත් අපේක්ෂා කරන දාන ධර්ම ආදියෙහි යෙදෙන මං මොනදේ උණත් මේ මේ දේවල් කිව යුතු ම යි.”