115. හිතෝපදේශය | 02 | රජා ළං කර ගන්නේ මෝඩයන්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“මොකක් ද අප්පේ ඔය තරම් බැරෑරුම් කාරණය? මට නම් ඉතින් පෙනෙන ඉසව්වක අතුරු අන්තරාවක් ගැන ගනිච්චියක් නැහැ. කීව නම් බලන්ට කෝකටත් හැම දෙයක් ගැන ම සොයා බලන තමුන්නැහේට හිතෙන පෙනෙන දේවල් කොහොම නමුත් මාත් දැනගන්ට එපා යැ.”

“ඒක තමා මටත් තියෙන ලොකු ම ප්‍රශ්නය. කියලත් බෑ - නොකියත් බෑ. අපේ අර මුස්පේන්තුවා–රජා කියලා ඉන්න උළමා ඔයා ගැන ලොකු අවිශ්වාසයකි ඉන්නේ. එයා කදිමට මාත් එක්ක කියනවා ‘ඔය සංජීවකයා මහ එපා කරපු දෙපිටකාට්ටුවෙක්. වංචාකාරයෙක්. කළගුණ නො දන්නා ගුණමකුවෙක්. ඕකව මරා දාලා අනිත් ඇමතිවරුන්ට උගේ බලතල පවරලා රාජධානිය එක්සේසත් කරන්නට ඕනෑ.’ කියා. ඉතින් ඔය රාජ්‍ය රහස එළි කරන්නට බැරිවයි මම ටැග් ගැහුණේ. මොන දේ වුණත් මට කාරි නෑ - දැන් මගේ හිත නිදහස්. අවශ්‍ය පරිදි කටයුතු කිරීම ඔබ කැමති විදිහට කළාට මගේ මොකෝ?”

දමනකගේ රහස්‍යමය වූ කථාව අසා සිටි සංජීවක පත් වූයේ බලවත් සංවේගයකට. එවැන්නක් සිදු වෙතැයි මොහොතකටවත් නො සිතූ බැවිනි. දමනක ගේ හෙළිදරව්ව ගැන ඔහු අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දිගට හරහට සිතන්නට පටන් ගත්තේය. නො දැනවත්ව ම හෝ තමන්ගේ රජුට කිසියම් විරෝධතාවයක් අවච්ඡාදියක් සිදු වුණේ දැයි මෙනෙහි කළේය. මෙය සහ ගහන අපරාධයකි; කාගේ හෝ යටිකූට්ටු උපක්‍රමයක ප්‍රතිඵලයකි. තමන් රජුගෙන් ලබන වරප්‍රසාද දැක ඊර්ෂ්‍යාපරවශ තමන් විනාශ කර දමන්නට යෙදූ උපායකැයි ආවර්ජනා කරමින් සිටිය දී නැවතත් දමනක කතා කළේය.

“මොකට ද යාලුවා ඔය ගැන ඔය හැටි දුක් වෙන්නේ? පසුතැවිලි වන්නේ? ‘ස්ථානෝචිත ප්‍රඥාව’ කියන එක අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලට.”

සංජීවක සිය මතය ඉදිරිපත් කරමින් පැවසුවේ “මේක දුර්ජනයෙක් ඇටවූ උගුලක්. මං හරියට රාජ්‍ය සේවයේ යෙදුණා. රජුටත් ප්‍රාණ-ප්‍රිය මිත්‍රයකු වූ මට මෙහෙම දෙයක් වෙන්නේ කොහොම ද? හැබැයි මෙහෙම අදහසක් මට වැටහෙනවා:

“ගැහැණු කියන ජාතිය වඩාත් ම කැමති දුර්ගුණ ඇති දුර්ජනයන්ට. ඒ ඔවුන් ලවා තමන්ගේ හිතේ ඇති ඕනෑම ජරා වැඩක් ඉටු කරවා ගන්නට හැකි නිසා. අන්න ඒ වගේ ම රජුන් ද ආශ්‍රය කරන්නන්ට වඩාත් ම කැමති බුද්ධිහීන නුසුදුස්සන්. ඒ හොඳ නරකක් නො සොයා ජරා වැඩවලට යොදා ගත හැකි නිසා. ධනය ගොඩ ගැහෙන්නේ ලෝභී මසුරු පුද්ගලයන් ළඟ. ඒ දානපතියන් ළඟ ඇති ධනය දීමෙන් ම අවසන් වෙන නිසා. වැස්ස වුවත් වහින්නෙ ගිරි දුර්ගවලට නැති නම් මහ මුහුදට. හේතුව ඵලය හෝ ප්‍රයෝජනය නො තකන නිසා. අසත්පුරුෂ සමාජ දූෂණයෙහි යෙදෙන බොහෝ දෙනා උගතුන් වැදගතුන් ආශ්‍රය කරන්නට විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ තමනුත් වැදගතෙකු ලෙස අන් අයට පෙන්වීම සඳහා. නමුත් අසත්පුරුෂයා අසත්පුරුෂයා ම යි. හරියට ඔවුන් කාන්තාවන් ගේ ඇස් සරසන්නට ගාන අඳුන් වගේ. හේතුව ප්‍රයෝජන ලබා ගැනීමෙන් අනතුරුව සෝදා හැරෙණ නිසයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll