දීපන්කො පුළුවන්නම් උත්තර.
සිත්කළු පරිසරයක්–වන සතුන්ගේ කෙළිබිමක්–කුරුලු රෑන් නගන ගීතිකා කෙළවරක් නෑ. ඔය තමා කර්පූර දිවයිනේ පද්මකේලි කියන විල අවට ස්වභාවය. ඔන්න ඔය විලේ හිටියා හිරණ්‍යගර්භ නමින් රාජහංසයෙක්. අර විලේ සිටියා මසුන්, අවට හැසිරුණා පක්ෂීන් එකතු පාදා වෙලා හිරණ්‍යගර්භ කියන හංසයා අභිෂේක කළා සියලු දෙනාගේ ම මනාපයෙන්. ඇයි ඒ ඇත්තන් එහෙම කළේ, මෙන්න මේ පුරාණ භාෂිතය අනුව ක්‍රියා කළ යුතු නිසා:
මහා සාගරයෙන් යන නැවකට නාවිකයෙකු සිටිය යුතුයි. නාවිකයෙකු නැති නැව්
ගල්පරවල හැප්පෙනවා. දියසුළිවලට හසු වෙනවා. ඒකෙන් වෙන්නේ නැවත් ගිලෙනවා; නැවේ
යන්නනුත් මැරෙනවා. අන්න ඒ වගේ තමා රටකට රජකු සිටිය යුතුයි. රජෙකු නැති රටක් අයාලේ
යනවා. අගාධයට යනවා. නීතියක් උපදේශයක් විසඳා ලන්නට කරුණා දයා ගුණ ඇති බුද්ධිමත්
පාලකයකු අවශ්‍ය ම යි. මීට ම අදාළ තවත් හේතු තිබෙනවා මෙන්න මෙහෙම:
රට වැසියන් රැකෙන්නේ රජු නිසා. රජු රැකෙන්නේ රට වැසියන් ගෙන්. ඒ දේ
වෙන්නට බදු ගෙවිය විය යුතුයි රට වැසියන්. බද්දෙන් රට පෝෂණය කරන්නේ රජු. රජුගේ
විධිවිධානයන් ගෙන් රට ස්ථාවර විය යුතුයි. එසේ නො වුණොත් ස්වභාවයෙන් ම පවත්නා දේ ද
විනාශයට යයි. රටක් දියුණු වෙන්නේ රජු මෙන්ම වැසියන් ද එකතු පාදා වී දේශාභිවෘධිය
උදෙසා කටයුතු කළොත් පමණයි.
හිරණ්‍යගර්භ රාජ හංස
උතුමාණන් ධර්මයෙන් හා සාමයෙන් රාජ්‍ය පාලනය කරගෙන යන්නට අවශ්‍ය විධිවිධාන සලස්වණු
ලැබිණි. එසේ කාලය ගත වෙමින් තිබීය දී දිනෙක පිපුණු නෙළුම් ගොමුවක වැඩ සිටිමින් තම
සහචරයන් හා අංශ ප්‍රධානීන් සමඟ රාජෝත්තමයා විශේෂ සාකච්ඡාවක නිරත වෙමින් සිටියේය.
ඔන්න ඔය අතරේ පිටස්තර දේශයකින් ආ දීර්ඝ මුඛ (දික් හොටයා) නම් කොකෙක් රාජෝත්තමයාට
ගරු බුහුමන් දක්වා පසෙක වාඩි විය. ඔහු දුටු රාජෙන්ද්‍රයා මෙසේ ප්‍රශ්න කළා:
“තමුන්ගේ නම?”
“දේවයන් වහන්ස, මම ඇවිත් දීර්ඝමුඛ - දික් හොටයා!”
“තමුන් මොන දීපංකරයක ඉඳල ද මෙතෙන්ට කඩා පාත් වුණේ?”
“සමා වී වදාරන්ට ඕන දේවයන් වහන්ස! මං ආවේ සුරක්ෂා රාජධානියේ ඉඳල.”
“ඉතින් ඉතිං ආ කාරණාව? උඹේ රටේ තොරතුරු කියහන් බලන්ඩ!”
“දේවයන් වහන්ස, කියන්ට ඇති දේ නම් බොහෝම බරපතලයි. අල්ප ස්වල්ප සොච්චං
කාරණයක් එහෙම නො වෙයි. ඒක කියන්න ම යි මං මේ තකහනියක් ආවේ.”
“මොකද්ද ඔය තරම් බරපතළ කාරණාව?”
“දේවයන් වහන්ස! මේ දඹදිව් තලයේ තිබෙනවා විද්‍යා නමින් විශාල
කන්දක්. ඔන්න ඔය කන්දේ ඉන්නවා ප්‍රතාපවත්, පක්ෂීන්ගෙන් රාජා වූ මොණරෙක් – නම චිත්‍රවර්ණ.
අන්න ඒ උන්නාන්සේ සහචරයන් වන මෙහෙකරුවන් රෑනක් ම මාව වටකර ගත්තා. ඒ මං දග්ධාරණ්‍ය
ප්‍රදේශයේ තිබුණු විලක කුඩ මසුන් අල්ලාගෙන කමින් සිටිය දී. පටන් ගත්තෙ නැතෑ කච-බච
ගාමින් මගෙන් ප්‍රශ්න අහන්න! ඒ පඩත්තරයන් ටික.
“තෝ කවු ද?”
“කොහේ ඉඳල ද කඩාපාත් වුණේ?”