මැට්ටන්ට දුන් උපදෙස්.
නර්මදා නදී තෙර කන්දක්
ආසන්නයේ විශාල ඉඹුල් ගසක් තිබුණා. මෙම ඉඹුල් ගසෙහි සාදාගත් කූඩුවල වැසි කාලයන්හි
දී පවා කුරුල්ලන් සිටියේ සතුටින් හා සැනසීමෙන්. මෙසේ සුවසේ සිටි පක්ෂීන්ට විශාල
බාධකයක් හමුවේ එකල මෙකල වෙන්නට සිදු වුණේ අහම්බෙන්. ඒ, හරියට ම නිල්වන් වස්ත්‍රවලින්
වසා ගත්තාක් වැනි අහසෙන් අතොරක් නැතිව හෙන දිය ධාරා පැතිර යාම නිසා. කූඩු තුළට වී
වැස්සෙන් තමන් බේරුණත් සීතලෙන් ගැහෙමින්–වෙවුලමින්–වකුටු වී සිටි වඳුරු රංචුවක්
දැක, දයා අනුකම්පා කරුණා ගුණ උපදවාගෙන කුරුල්ලන් ඔවුනට මෙසේ පැවසූවා:
“අප සේ ම අපේ ම කැලේ වසන වඳුරු සොහොයුරණි! මෙන්න මේ කියමන අසන්න. අප
මේ කූඩු හදාගත්තේ හොටෙන් ගෙන එන ලද තණපත් වලින්. එහෙත් ඔබලාට අත් දෙකක් හා පා
දෙකක් ම තියනවා. ඇයි හැබෑට ම අව්වෙන් වැස්සෙන් පීඩා නො විඳ ඉන්න කූඩුවක් හදා ගන්නෙ
නැත්තෙ?”
කුරුල්ලන්ගේ එම කතා ඇසූ වඳුරන්ට ඇති වුණේ තදබල කෝපයක්. ඔවුන් සාමූහිකව
සාකච්ඡා කළා මෙන්න මෙහෙම:
“සතා කුඩයි. ඒත් ඉන්න හිටින්නට ගෙවල් තියෙනවා කියා මුන්ගෙ තියෙන
උජාරුවක මහත. ගෙවල් හැදුවේ හොටෙන් ගෙනල්ලා ලු. අපට අත් පා හතරක් ලු. ඇයි ද ගෙවල්
හදන්නේ නැත්තෙ ලු. උන්ට මොකෝ අපට ගෙවල් හදවන්නට උපදෙස් දෙන්නට තියෙන රුදාව. ඉන්න
හැටියකට ඉන්නේ නැතිව. එනවා මෙතැන මහප්පලා වෙන්නට. කාලා ඉන්නට බැරි උන්ගේ තියෙන
උජාරුව. මුන්ගෙ නින්දා අපහස විඳින්නේ මක්කට ද? හොඳා කාරි නෑ. පායාපන්කෝ වැස්ස.
ගෙවල් හැදීමේ අගේ පෙන්නන්ට.”
වැස්ස නැවතුණේ හාත්පස ම වතුර ගලා යාමෙන්. තරුණ පහේ වඳුරන් කතා කළා
“වරෙව් යන්නට අර කුරුලු හැත්තට යස පාඩමක් උගන්නන්න.” කියා සෙස්සන්ටත්. මොක දෑ ඉතිං
උනුත් වඳුරන් නේ. පැන්නා අත්තෙන් අත්තට. තිබුණ තිබුණ කුරුලු කූඩු සියල්ල ම කඩා
දැම්මා. සමහර කිරිල්ලියන් බිත්තර දානවා; සමහරුන් බිත්තර රකිනවා. කුරුලු අම්මලා
චූටි පැටවුන් තටු අස්සේ හංගාගෙන උණුසුම් කරනවා සීතල වැඩි කමට. ඒ ගැනවත් කිසි ම
වඳුරෙක් මායිම් කළේ නෑ. අන්න ඒ නිසයි මං කියා සිටියේ “උපදෙස් වුවත් දිය යුත්තේ
උගතෙකුට මිස මැට්ටන්ට නො වෙයි.” කියලා.
කතාවට සවන් දෙමින් සිටි රාජහංසෝත්තමයා මෙසේ ඇසුවා දික් හොටයගෙන්: