බූරුවා කොටියෙකු වෙලා.
ඔන්න කොකෝ කාලයකට ඉස්සර වෙලා හස්තිනා පුරයෙහි සිටියා විලාස නමින් හැඳින්වුණ රෙදි සෝදන්නෙක්. ඔහු කළේ කුලවතුන් ගේ රෙදි කඩමාලු ගෙන’වුත් අතුල්ලා සෝදා වියළා මැද දී ලැබෙන දෙයකින් ජීවත් වීම. මෙන්න මේ රෙදි හෝදන්නාට හිටියා බූරුවෙක්. ඌ තමා රෙදි පොට්ටනි කර ගසාගෙන ඒම ඇතුළු ගෙදර දොරේ සියලු වැඩට උදව් වුණේ. වැඩපල කිරීමත් වයසත් නිසා බූරුවා හොඳටෝ ම දිරාපත් වුණා. මාරයා මේ පේනවා නො පෙනෙනවා වගේ තත්වයකයි හිටියේ.
බූරුවා හිමි රෙදි සෝදන්නාට දැන් බූරුවා මහා බරක්. ඇයි කන්න දෙන්නත්
ඕනෑ – ඒ හිලව්වට ඔහු වැඩක් කරන්නේත් නෑ. මේකට කරන උප්පරවැට්ටිය කුමක් දැයි සිතූ
බූරු හිමියා සොයා ගත්තා කොටි හමක්. ඒක බූරුවා මත තබා ඇඟට හිරවෙන සේ බැන්දා
වැල්පටවලින්. දැන් බූරුවාගේ තියෙන්නෙ කොටි පෙනුම.
කන්දක් ආසන්නයේ තිබුණා සරුවට භව-භෝග හැදුණු හේනක්. ඔන්න ඔය හේනට
දක්කා ගෙන ගියා වේශ නිරූපණය කළ බූරුවා. බූරු හිමියා වන රෙදි සෝදන්නා බූරුවාට
ගුණෙන් පණෙන් දැනමුතුකම් දුන්නා මෙන්න මෙහෙම:
“අනේ මගේ බූරුවෝ, උඹ මෙච්චර කාලයක් නෑ බෑ නො කියා මට කැඹුරුවා තමයි.
ඒත් දැන් උඹ වළ පයයි ගොඩ පයයි නේ. උඹට ඇප උපස්ථාන කරන්නට මට හයියක් නෑ. මෙන්න මේ
හේනෙ ඕන පදං කන්න දේවල් තියෙනවා. ඒවා කාලා ජීවිතය රැක ගනිං. ඔන්න මම ගියා.”
කියමින් රෙදි සෝදන්නා සිය යුතුකම ඉටුකළා. බූරුවා හිතේ හැටියට ලා දළු
සහිත ශෂ්‍ය වර්ග කමින් නිදා ගනිමින් කාලය ගෙවා දැමුවා. වගාව ගැන සොයා බලන්නට ආ
ගොවියාට දැක ගන්නට ලැබුණේ හේනේ සිටින කොටියෙක්. මොකෝ කොටි කවද් ද ගොයම් එළවළු
පළතුරු කෑවේ? ඒවා කන්නට එන හා-මුව-ගෝණ-හරක් වගේ සතුන් ආයෙ නම් මගේ වගාව විනාශ
කරන්නට එන එකක් නෑ. ‘ඔන්න ඔහේ හිටහං’ කියා ගොවිරාළත් සතුටින් ගෙදර ගියා.
මේ කොටියාගේ අපූරු පලහිලව්ව අසා සිටි එක් වගා කරුවෙක් දුඹුරු පාට කම්බිලියකින් සිරුර වසාගෙන වගා බිමට ගියේ ඇත්ත නැත්ත දැන ගන්නා අටියෙන්. ඔහු ගියේ ද අත වන වනා නො ව දුනු හී ආදි ආම්පන්න අතැතිව, සූදානම් සරීරේ කියා හිතාගෙන. දින කිහිපයක් තිස්සේ වගාවට අවශ්‍ය ජලය ඇතුළු කෙම් පහන් කර ගත නො හැකි වීම නිසා මේ කොටි හපුවා මරා දැමීම එම ගොවියාගේ අදහස ද වී තිබිණි.