128. හිතෝපදේශය | 03 | බූරුවා කොටියෙකු වෙලා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

අවි ආයුධවලින් සන්නද්ධ වූ ගොවියා කුරුමාණම් අල්ලමින් පඳුරු හුඹස් ආදියට වැහුම් වෙමින් ඊ-දුරක් දක්වා නැවීගෙන ම ගමන් කළේය. වඩාත් හොඳින් විපරම් කරද්දී ගොවියා දුටුවේ හිතේ හැටියට ගොයම් ආදී පලා පැලකමින් පෘෂ්ටිමත් සිරුරක් ඇති කොටි හමක් පොරවාගත් බූරුවෙකි. වඩාත් හොඳින් සැකය තුරන් කර ගැනීම පිණිස ගොවියා මහ හඬින් කෑ ගැසුවේ සතාගේ ප්‍රතික්‍රියා දැනගන්නා අටියෙන්. බූරුවා ද බියට පත් වී පිට කළේ බූරු හඬ ම ය. ගොවියා තම අත රැඳි ආයුධවලින් පහර දී බූරුවා මරා දැම්මේය. ඔන්න ඔය කාරණය නිසා තමා මං, “සුචිරංහී චරන් නිත්‍යම්” යන ආප්තය කීවේ යැයි පැවසීය.

“හැබෑව දේවයන් වහන්ස හැබෑව! එහෙම කතාත් තිබෙනවා තමා. නමුත් ඒකලා එසේ මෙසේ එවුන් නො වේ. ආවේ වලියට ම යි. බලන්ඩ එපා යැ උන්ගේ කච පචේ. එකෙක්; උන්ගේ නායකයා වෙන්නැති, මෙන්න මෙහෙමත් කීවා:

අඩෝ පවුකාර මෝඩ තකතිරු කොකෝ, අපේ රාජධානියෙහි ම ඇවිදිමින් ලෝකය ම වුවත් පාලනය කරන්නට සමත් චක්‍රවර්ති වූ අපෙ දේවයන්වහන්සේට අවමන් කරන්නට තෝ මොකෙක් ද? තොගේ අවමන් අහගෙන තවත් ඉවසාගෙන ඉන්න බෑ. අන්න ඒ වචනය උන්ගේ නායකයාගෙන් පිටවෙනවා සමගම දුන්නා මට සබ්බුව. එයින් අහවර වුණා ද? නෑ මෙන්න මෙහෙමත් ආඩපාලි කිව්වා:

අඩේ මෝඩ පහරයා අහගන් මේක හොඳට. තොගේ ඔය රජා කියන එකා මොකෙකු ද? මහ සෙවලයෙකු නෙ. හරකුන් ටිකක් බුද්ධි මණ්ඩලයට දාගෙන උන් කියන කියන හැටියට එහාට මෙහාට වැන වෙන පඹයෙකු නේ. අනික පිට දේශයක කොඩියට ගරු කරන්න දහ අතේ දිවුරුම් දීලා ඉන්න හෝදා පාළුවෙකු බව තෝ දන්නෙ ම නැද්ද? ඌට ඔය දේශය තිබුණත් එකයි නැතත් එකයි. පොඩ්ඩ ගැස්සුණා ම තොලොන්චි වෙයි උගේ කියන හැත්ත බුරුත්තත් එක්ක. රාජාධිකාරි බලයක් තබා කොන්දක් නැති පෙන්දෙක්. ඌට තියෙන දේත් රැක ගන්නට බැරිව ඒවා විකුණාගෙන කන්ට තෙපර බාන උගුඩුවෙක්. එහූ එකා කරන රජකම අහවල් එකක් ද? තෝ නං බොල පොතේ කියාපු ළිං ගෙම්බෙක්. එහෙව් එකා ද අර කක්කුට්ටාත් එක්ක මිත්‍ර ධර්ම පවත්වන්නට කියන්නේ? මෙන්න මේකත් අහගෙන මැරුම් නො කා මෙතනින් තොලොන්චි වෙලා පල!” කී පිරිසේ අණ දෙන්නා මෙන්න මෙහෙමත් හුට්ටප්පරයක් කිව්වා:

ආශ්‍රය කරතොත් ආශ්‍රය කරන්න ඕනෑ කෑ හැකි ගෙඩිත්, සෙවන ලබා දීමට ප්‍රමාණවත් කොළ අතු ඉති වලින් පිරුණු ගහක්. ඉතින් මෝඩයා හැම ගසක ම ගෙඩි තියෙනව ද? නෑ නෙ. ගෙඩි නැති නපුංසක ගහක් යට සෙවණට හොඳා කියා හිටියට බඩ පිරෙනවා ද? අන්න ඒ වගේ තමා උඹලගෙ රජාත් මහ නපුංසකයෙක්.

තකතීරුවා  මෙන්න මේකත් අහගනින්:

රජා කියා හිටියට මෙලෝ හසරක් නැති දුංකුඤ්ඤෙක් ආශ්‍රය කළාට පලක් නෑ මෝඩයෝ. තමන් සිටිය යුත්තේ දැන උගත් කරුණු කාරණා දන්නා අයෙකු සමග. මත්පැන් වෙළඳාම් කරන වෙළෙන්දිය අතේ ඇති වතුර භාජනයත් සලකන්නෙ සුරා කියලා. තවත් තියෙනවා තොපිලා සද්ද සෑත්තරේ දන්නා එකාලා යැ, ඉඩවරේට පැහුණ මිසක්කා. මෙන්න මේකත් ඔය ගමන් ම අහගන්:

යම් වස්තුව හරි පුද්ගලයෙකුගේ වටිනාකම තියෙන්නෙ ඒ ඒ දේවල් පිහිටා තියන තැන අනුවයි. ඇතා කියන්නේ බල ශක්ති සම්පන්න විශාල සිරුරක් ඇති සතෙක්. නමුත් ඒ ඇතාගේ රූපය කණ්ණාඩියකට වැටුණොත් කොහොම ද දැකගන්නට හැකි වන්නේ? ඉතා කුඩාවට. අන්න ඒ වගේ තමා තොපේ රජාත් අපේ දේවයන් වහන්සේ ඉදිරියේ ඇඹිටිල්ලන් මීයෙක්.

ඉතා බලසම්පන්න රජුන් ආශ්‍රය කරන උදවිය ජාම් බේරා ගන්නේ කපටි නූල් සූත්තරවලින්. හාවුන් මොනයම් ම හෝ කරදරයක් ඇති වුණ විට එයින් ගැළවෙන්නට යොදන උපාය මාර්ගය තමයි, ‘හඳ පවා අපේ රූපය තියාගෙනයි ලෝකය වටේ යන්නේ. අපට හිංසා කරනවා කියන්නේ චන්ද්‍ර දිව්‍යරාජයාට කරන අගෞරවයක්’ කියා ගැළවීමයි.

ඒ අහවල් කතාවක් දැයි දීර්ඝ මුඛ ඇසූ කල් හි කුරුල්ලන් විසින් එම කථාව මෙසේ හෙළි කරන ලදී.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll