130. හිතෝපදේශය | 03 | හඳහාමිගෙ තානාපති

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කඩුවක් - දුන්නක් - පොරවක් - කැත්තක් - උදැල්ලක් තබා මෝල් ගහක් හෝ ඔසවා තර්ජනය කළත් තම නායකයාගේ අණින් බැහැරව තානාපතිවරයා කිසිවක් නො කිව යුතුය. අණදුන් ස්වාමියාත්, දූතයාත් යන දෙදෙනා ම නිදොස් සහගත වූවන් නිසා ඇත්ත ඇති සැටියෙන් ම කීමයි රාජ නියමය –ඒ ද නීතියට අනුව, බොරුකීම චන්ද්‍ර ලෝකයේ සිරිතක් නො වෙයි රජුනි!

ඒ නීතිය අනුකූලව චන්ද්‍ර දිව්‍ය රාජයාණන් ගේ නියෝගය පරිදි කියන්නම්: තමුන්නාන්සේ සවන් දුන මැනවි.

අතන අර ඇත්තේ චන්ද්‍ර දිව්‍ය රාජයාට අයත් චන්ද්‍ර පුෂ්පකරණියයි. මේ ලෝකය තුළ ඒ සඳ පොකුණ බලා කියා ගන්නට පත්කළ සේවකයන් තමා වටා සිටි හාවුන්. ඔබ වහන්සේ ඒ සේවකයන් පිටමං කළ අයුරු ඉතාම අශෝභනයි. කළ ක්‍රමය ම වැරදියි. ඊට හේතුව ඒ හාවුන්ගේ පාලනය සහ ආරක්ෂාව තියෙන්නෙ මගේ භාරයේ. චන්ද්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් ඒ සඳහා අපව පත් කළේ නිකම්ම නො වේ. අපට සිහිපත් වෙන්නට සස ලාංජනය සිය හද මඬල තුළ සලකුණු කරගෙන. මට නම් පෙනෙන්නේ මේ ප්‍රශ්නය දුරදිග යන හැඩයි.” යනුවෙන් මහලු විජය කියත් ම ඇත් රජා බියෙන් වෙව්ලන්නට පටන් ගති.

“මගෙ අප්පේ, චන්ද්‍ර දිව්‍ය රාජ උත්තමයාගේ සේවකයන් ඇතුන්ගේ අඩිවලින් මියගියේ නො දැනුවත්කමින්. අනේ තානාපති තුමෝ චන්ද්‍ර දේව රාජයාණන්ගෙන් සමාව ලබා දෙන්නට හොඳා. ‘මේ කප තියෙන තාක් කල් ඇත් පරම්පරාවේ කවරෙකුවත් චන්ද්‍ර සේවකයන් වූ හාවුන්ට කිසිම කරදරයක් නො කළ යුතුයි’ කියා නව නීති සංග්‍රහයට ඇතුළත් කරනවා. මාත් මේ චන්ද්‍ර පොකුණ ආරක්ෂා කරන්නට මෙතැන ම ඉන්නවා.” යි ඇත් රජු කියා සිටියේ මහත් භීතියකින්. එමෙන් ම වේදනාවකින්. ඇතාගේ සුරූපය දුටු මහලු විජය තවත් දහම් ගැටයක් ගැසූවේ මෙ පරිද්දෙන්:

“එහෙම අවශ්‍ය නෑ ඇත් රජුනි, අර බලන්න විල තුළ චන්ද්‍ර දිව්‍ය රාජයා කෝපයෙන් දඟලන හැටි. දණ්ඩ නමස්කාරයෙන් සිට සමාව අයදින්න, මින් මනත සොයා නො බලා කටයුතු නො කරන බවට ඔබ තුමාගේ ඇත් පන්තියේ සෙස්සනුත්.”

විජයගේ එම කීමෙන් ප්‍රමුදිත ඇතා සිය රැළේ සියල්ලන් ගෙන්වා, විලෙහි  නළියන සඳරුවට වන්දවා සමාව භජනය කරන ලෙස ඉල්ලා සිටිනු ලැබිණි. හාවා ද අඩදැණිව සිට විලට වැඳගෙන මෙසේ කීය:

“චන්ද්‍ර දේවයන් වහන්ස, මොවුන් විසින් මේ කළේ නො දැනුවත්කමින් වරදකි. එනිසා ඉවසා වදාරණ ලෙස ගෞරවයෙන් මාත් අයැද සිටිනවා. නැවතත් මේ වගේ වරදක් නො කරන බව මට විශ්වාසයි. ඔය කාරණය නිසා තමයි මං ‘ව්‍යපද ශේපි සිද්ධිඃ’ යන කපටි උපා යෙදීමෙන් ද අදහස ඉටු කර ගත හැකි බව කීවේ.”

මොනර රජාගේ සහචරයන් මාව මරාගෙන කන්නට සූදානම් වෙද්දී මං කිව්වා මෙහෙම:

“අපේ නායක රාජහංස දේවයන් එසේ මෙසේ කෙනකු නො වේ ප්‍රතාපවත් උතුමෙක්. තේජස දස දිසාවෙහි ම පැතිරිලා. සමර්ථකම් කෙළවරක් නෑ. තුන් ලෝකෙ ම නායකත්වයට සුදුස්සෙක්. එබන්ඳෙකුට රාජ්‍යයක් කියන්නේ මොකක් ද? ඇටිච්චන් කොලු කෙල්ලන්ට අඹ කොට්ට පනින ගෙමිදුලක් වගේ.” ඔය ටික කිව්වා විතරයි එතැන සිටිය එකාලා ඇවිස්සුණේ කඩිගුලක් වගේ. කියන්න පටන් ගත්තා මෙහෙම:



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll