132. හිතෝපදේශය | 03 | හඳහාමිගෙ තානාපති

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“දේවයන් වහන්ස! කපුරු දිවයින ආදී කොදෙව් සියල්ලක් ම අයත් වන්නේ ජම්බුද්වීපයට ම යි. එබැවින් කපුරු දිවයිනේ ආධිපත්‍යයත් අයිති වන්නේ ඔබ වහන්සේට ම යි.”

“ඔව්නේ, ඔබ කීවා හරි. කපුරු දිවයිනත් මගේ ම තමා. ඒ මෙන්න මේ හේතු නිසා.” යැයි චිත්‍රවර්ණ කීවේය.

“රටක් කරවන රජු මතින් මත් වූවෙකු, පිස්සෙකු, ළමයින්, ගැහැණු, ධනය නිසා උඩඟු වන අය ලබා ගත නො හැකි දේවල් ලබා ගන්නටයි නිතර ම වෑයම් කරන්නේ. එහෙත් අතට ම ලැබෙන දෙයක් තිබේ නම් අසුවල් එකට ද අනවශ්‍ය ලෙස උත්සාහ ගන්නේ?”

මට වැටහුණා දේවයන් වහන්ස චිත්‍රවර්ණ එනපොට ඇඟට ගුණදායක නො වන වග. ඒ පාර මං කියා හිටියා මෙන්න මෙහෙම:

“ඔය කට කැඩුණු කතා කියන්න එපා. මේ දඹදිවට මගේ නායක හිරණ්‍යගර්භ උතුමාණන් චක්‍රවර්ති රජෙක්. ඒක තීරණය කරන්නේ කොහොම ද? සංග්‍රාමයයි – යුද්ධයයි කියා මා කිව්වා. එවිට චිත්‍රවර්ණ මට සිනහ වෙමින් කියනවා ‘පලයන් ගිහින් කියපන් උඹෙ රජාට යුද්ධයට ලෑස්ති වෙන්න කියලා.’ ඒවංගියේ මම කීවා ‘ඒක හරියන කතාවක්යැ රාජ ධර්මය අනුව රටකින් රාජ්‍යයකට පණිවිඩ යැවිය යුත්තේ දූතයකු මගින් නැත්නම් තානාපතියෙකු මගින්’ කියා. ඔන්න ඒ පාර තමයි ඒ රජාට නිසි රාජ්‍ය ප්‍රතිපත්ති රාජධර්ම සිහි වුණේ. ඉතිං ඒ රජා කීවා ‘කාව ද රාජකීය දූත කාර්යයේ යොදවන්නේ, ඒ දූතයා මෙන්න මේ වගේ අයකු විය යුතුයි’ කියා නීති පොතක තිබුණු සිද්ධියක් මතක් කළා:

රට හා රජු කෙරෙහි භක්ති වන්තයෙකු, ගුණ වන්තයෙකු, අවංක පැවතුම් ඇත්තෙකු, සියල්ලෙහි දක්ෂයෙකු, එඩිතරව නිසි පරිදි කතා කරන්නෙකු, සුරා සූදුවෙන් තොර වූවකු, ඉවසීම ප්‍රගුණ කළ අයෙකු, වහා වැටහීමේ ශක්තිය ඇත්තෙකු වශයෙන් නම් දැරූ සතුරන්ගෙන් දුබලකම් දන්නා බමුණකු දූතයා විය යුතු යැයි යන්න නියෝගය විය.

එහෙමයි දේවයන් වහන්ස! උතුමාණන්ගේ එම නියෝගය තමා හරි. දූතයන් අනන්ත අප්‍රමාණ ඉන්නවා. නමුත් මෙවැනි බැරෑරුම් කටයුත්තක දී අනිවාර්යෙන් ම දූත සේවාවේ යෙදවිය යුත්තේ බමුණෙකු ම යි කී ඇමති ගිජුලිහිණියා ඊට අදාළ හේතුව ද මෙසේ ඉදිරිපත් කළා:

බමුණා නිතර ම උත්සාහ කරන්නේ තමන්ගේ නායකයා සතුටු කරන්නට. ඒ සඳහා අතිරේක දීමනා හා සැප පහසුකම් බලාපොරොත්තු නො වෙයි. හරියට හලාහල විෂ ඊශ්වර දෙවියන් ගිල්ලත් කළුපාට නො වෙනස් වූවාක් මෙන්.

මොනර රජු මේ සියල්ල අසා සිට, ඇමති තනතුරකින් පිදුම් ලද ගිරවා ඇමැතීය:

“මේ කැලයෙහි උග්‍ර තපස් රකින පැහැදිලිව කතා කරන යුත්ත අයුත්ත මනාව වටහාගත හැකි බ්‍රාහ්මණ වංශෝද්භූත එක ම ශ්‍රේෂ්ඨයා ඔබයි. මෙන්න මේ හොටයා සමග ඔහුගේ රටට ගොස් උන්ගේ රජා හමුවී දෙන්නගෙ දක්ෂතා බලන්නට මා යුද්ධයට කැමති බව කිව යුතුයි. මේක රාජ නියෝගයක්!”

“එසේය දේවයන් වහන්ස, එම නියෝගය අකුරට ම ඉටු කිරීම මගේ එක ම රාජකාරිය. එහෙත් උතුමාණෙනි මේ කොකා සමඟ යාමට මම කැමති නෑ. හේතුව මේ හොටයා දුෂ්ටයෙක් අධමයෙක්. ඒ ගැන අපේ නීති පොත්වල සඳහන් වෙන්නේ මෙහෙමයි:

දුර්ජනයන් වැරදි දෙයක් කළොත් එයින් ප්‍රතිවිපාක විඳින්නේ සත්පුරුෂයන්. රාවණා විසින් සීතා දේවිය පැහැරගෙන ගියා. මහා සාගරය මත බැම්මක් බැඳී මුහුද දෙකඩ වුණා.

ඒ ගැන දේවයන් වහන්ස මෙසේත් කිව හැකියි:

දුර්ජනයන් සමග කිසි කලෙකවත් සහ සම්බන්ධතාවක් ඇති නො කර ගත යුතුයි. ඔවුන් සමග ගමන් බිමන් නො යා යුතුයි. හේතුව කපුටා සමඟ එක්වී සිටින හංසයාත් යන වටු කුරුල්ලාත් මරා දැමුණේ ඔය කියන දුර්ජන සංසර්ගය නිසයි.

“මොකක් ද ඒ කතාව?” යැයි විමසූ කල, ගිරවා එම සිද්ධිය විස්තර කරන්නට පටන් ගත්තේය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll