ගොඩ-දිය දෙකේ ම යම් ඔත්තු කාරයෙකුට යා හැකි නම්, අන්න ඒ බන්දා ඔත්තු
සේවාවට සුදුසුයි. අන්න ඒ නිසා අර කොකා ම ඔබේ සේවා කාර්යයට ගන්න. ඒ වගේ ම කරුණු
පහදා දී තවත් කොකෙකුත් අර කොකාට සම්බන්ධ කරන්න. එ සේ ම නිරීක්ෂණ කටයුතු සඳහා තවත්
පිරිසක් වාසල් දොරටුව අසළ සිටුවන්න.”
“එහෙමයි දේවයන් වහන්ස! එය කළ යුත්තේ ඉතා රහසිගත අන්දමින් – මෙන්න මේ
නීති සම්ප්‍රදාය නිසා:
රහස් කතාවක් කන් හයකට ගියොත් එය රහසක් නොවේ ප්‍රවෘත්තියක්. එය
අනිවාර්යෙන් තොරතුරක් බවට පත්වෙනවා. එවිට රහස බිඳෙනවා. අන්න ඒ හේතුව නිසා රජු තමන්
දෙවැනියාව සිට රහස් කටයුතුවල නිරත විය යුතුයි. රාජ්‍ය රහස් හෙළි වුණොත්, එයින් යම්
දෝෂයක් සිදු වුණොත්, ඒ වරද නිවැරදි කරන්නට කිසිසේත් නො හැකි බව නීතිවේදීන්ගේ
මතයයි.”
එම කියමන් දෙස හංස රජු බොහෝ වේලාවක් බලා සිටියේය. ඊට වඩා
දුරදිග කල්පනා කළේය. ප්‍රීතියෙන් පිනා යමින් මෙසේ කීවේය.
“සන්තෝෂයි, ශ්‍රේෂ්ඨයි, උත්කෘෂ්ඨයි. උතුම් ඔත්තු කාරයෙකු ලැබීම ගැන
ප්‍රීතියි!”
“දේවයන් වහන්ස! එසේ නම් සටනින් ලැබෙන ජය ද ස්ථිරයි.” ඒ ලිහිණියාගේ
ස්ථාවරයයි.
මෙසේ රහස් සාකච්ඡාව නිමා වීමත් සමඟ පැමිණි දොරටු පල්ලා, රජුට නමස්කාර
පවත්වා මෙසේ කීයේය:
“දේවයන් වහන්ස! ජම්බුද්වීපයෙන් පැමිණි ගිරවෙක් ඔබ වහන්සේ බැහැ
දැකීම පිණිස රාජ මන්දිරයේ දොරකඩ තාවර වෙමින් සිටි.”
රජු අමාත්‍ය සක්වා ලිහිණියා දෙස නෙත් යොමු කළේය.
“දොරටුපල්ල යව! ඒ දූතයා අමුත්තන් සඳහා සැකසූ නිවසට රැගෙන යනු. කළයුතු
සත්කාර සම්මාන නො පිරිහෙළා ඉටු කරනු! පසුව ඔහු කැඳවා ගෙනවුත් රාජ දර්ශනයට ලක් කළ
යුතුයි!”
එම නියෝගය පිළිගත් දොරටු පල්ලා ගිරවා සමග ගොස් විඩාව සංසිඳුවා ගන්නට
කියා අවශ්‍ය කළමනා සියල්ල නො අඩුව ලබා දී අවසර ගෙන පිටවී ගියේ තමන්ගේ සෙසු රාජකාරි
සඳහා.
“අමාත්‍ය, එසේනම් දැන් සටනට සූදානම් වෙන්න ඕන.” රජු කීය.
“තත්ත්වය එසේ වුවත් දේවයිනි යුද්ධයට පෙරමුණට යා යුතු නෑ, ඒ මෙන්න මේ
නිසා:
කරුණු කාරණා නො විමසා යුද්ධයට යා යුතු යැයි කියන්නේ නම්, රට හැර යමුයි රජුට නිර්දේශ කරන්නේ නම්, එබන්දා ඇමතියෙකු හෝ මන්ත්‍රියෙකු නො වේ. පහත් බුද්ධියක් ඇත්තෙකු පමණි. ඊට තවත් හේතු තිබෙනවා.