142. හිතෝපදේශය | 03 | බිරිඳ හිසට ගෙන නැටූ සැමියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

කිසියම් කටයුත්තක දක්ෂයා ම එම කාර්යයෙහි යෙදැවිය යුතුයි. යමෙකුට කළ යුතු වැඩ ගැන පළපුරුද්දක් නැත්නම්; සියල්ල දන්නේ යැයි කියන ශාස්ත්‍රඥ මහාචාර්යවරුන් නො යෙදවිය යුතුයි – හේතුව හසුරු කුසලතා නැති නිසා මං මුළාවී වැඩ අනා ගන්නා බැවින්.”

“මහ ඇමති සක්වාලිහිණි, එසේ නම් සෙන්පති විල්ලිහිණියාට එන්න කියා අණ කරන්න.”

විල්ලිහිණි සෙන්පති බාල් නැටුමකට, මංගල උත්සවයකට, පර අඹුවන් සමඟ විදෙස් සංචාරයකට නො ගොස් රාජ්‍ය ආරක්ෂාව උදෙසා හමුදාවන් සමග සීරුවෙන් සිටි නිසා, නියෝගය ලත් මොහොතේ ම රජු ඉදිරියේ පෙනී සිටියේ උත්තමාචාරයෙනි.

“සෙන්පති සාරස! (විල්ලිහිණියාණෙනි!) ඔබ වහා ම බලකොටුවක් ඉදි කළ යුතුයි.”

“දේවයන් වහන්ස! දැනටමත් දුර්ග බලකොටුව නිර්මාණය කර අවසානයි. රාජේන්ද්‍රයාණන් වහන්සේ වැඩ ඉන්නේ ඒ දුර්ග බලකොටුවේ ම තමයි. වටේ ඇත්තේ මහා දිය අගලකි, එහෙත් මේ මධ්‍යම කඳවුරේ කන බොන දේවල් රැස්කිරීම් පමණයි කළ යුත්තේත් කරන්න තිබෙන්නේත් – ඒකට හේතුව මේකයි උතුමාණෙනි!

සියලු රැස්කිරීම් අතුරින් ධාන්‍ය රැස් කිරීම තමා අත්‍යවශ්‍යයෙන් ම කළ යුත්තේ. හේතුව මැණික් කටේ දැම්මට පණ රැකෙන්නේ නෑ. පටන් ගත් යුද්ධය කවදා අවසන් වේවි ද කියන්න බැහැ. හේවායන්ට නිසි ආකාරයට ආහාර පාන සැපයිය යුතුයි. ඒවා කල් තබා රැස් කළොත් විනාශ වෙනවා. සියලු රසයන් අතුරෙන් ලුණු ආහාරයට අවශ්‍යයි. ලුණු නැති කෑම ගොම කෑමක් බඳුයි. උතුමාණන් අණ දෙන්නේ හෝරාවකින් අවශ්‍ය දෑ සපයන්නට නම් අඩ හෝරාවකින් මට එය කළ හැකියි.”

“සෙන්පති සාරස! වහා ම ගොස් ඒ අවශ්‍යතා සියල්ල ඉටු කරන්න. වැය ලේඛනය මුදල් ඇමතිට ඉදිරිපත් කරන්න.”

“අණ ඉටු කරමි ස්වාමීනි, නික්ම යාමට අවසර!” යැයි කියා සෙන්පති පිටව යාමත් සමඟ දොරටුපල්ලා නමස්කාර පූර්වකව රජු ඉදිරියේ පෙනී සිටියේ. අඩ දැණිව මෙසේ කීය:

“දේවයන් වහන්ස, ලංකාදීපයේ සිට පිරිවර සමඟ ආ මේඝවර්ණ නාමධාරී කපුටෙක් උතුමාණන් බැහැදැකීමට ද්වාරාංගනයෙහි රැඳී සිටි.”

“කවුඩන් වූ කලී සියල්ල දන්නා පිරිසකි. බොහෝ දුර දක්නෝ ද වෙති. එහෙයින් සත්කාර කළ යුත්තේයැ” ය හංස රාජා පැවසූ කල සක්වාලිහිණි ඇමැතිවරයා මෙසේ කියා සිටියේය:

“දේවයන් වහන්ස! කවුඩන් වූ කලී ගොඩ හැසිරෙන පිරිසක්. එබැවින් ඔවුන් අපේ විරුද්ධ පැත්තේ අයයි. මොන ආකාරයෙන් ද සංග්‍රහ කළ යුත්තේ? ඒ ගැන නීතියේ තියෙන්නේ මෙහෙමයි:

යමෙකු තමන්ගේ පක්ෂය හැරදමා අන් පක්ෂ වෙත ඇළුණොත් ඒ මෝඩයන් නිල්වන් සිවලා මෙන් සිටි පක්ෂයේ අයුවලුන් විසින් නසනු ඇත.

“මොකක්ද ඒ කතාව ?” යැයි හංස රජු විමසූ කල, අමාත්‍ය සක්වාලිහිණි නිල්වන් සිවලාගේ කථාව කියන්නට පටන් ගති.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll