143. හිතෝපදේශය | 03 | දේවත්ත්වයට පත් නරියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

දේවත්වයට පත් නරියා. 

කැලයක වාසය කළ සිවලෙක් අළුත් ආහාරයක් රස විඳීමේ අදහසින් නගරයක් සොයා ගියේය. ඔහු නගරය වටා සිත් සේ ඇවිදිමින් යද්දී නිල් සායම් බඳුනකට වැටුණි. එම බඳුනෙන් ගොඩ එන්නට හැකි තරම් උත්සාහ කළත් එම ප්‍රයත්නය නිශ්ඵල වීය. රාත්‍රිය පහ වී ඉර ද නැග එමින් තිබිණි. නිල් භාජනයේ අයිතිකරු ආවොත් තමන් භාජනය තුළ ම මරා දමතැයි බිය වූ ඔහු තමන් මියගිය එකෙකු සේ හැඟවෙන පරිදි රඟපෑමක යෙදුණේය. නිල් බඳුනේ හිමිකරු පැමිණ බලද්දී වැටී මැරී සිටි සිවලා දැක කරුණාව උපදවා ගෙන මළකුණ ඔසවාගෙන ගොස් පාලු කනත්තට දැමීය. මළ උගුලෙන් මිදුණු සිවලා දෙවියන්ට පින් පෙත් දෙමින් පලා ගියේය.

වනයට ගිය ඔහු සිය සිරුර පරීක්ෂාකර බැලීය. එවිටයි දුටුවේ සර්වාංගය ම නීල වර්ණයෙන් බබළන ආකාරය. එයින් නව පණක් ලත් ඔහු මෙසේ සිතන්නට විය. “මාගේ ශ්‍රී ශරීරය පුරා ම පවතින්නේ දිලිසෙන නීල වර්ණයක් ලෝකය ආරක්ෂා කරන්නේයැයි කියන විෂ්ණුටත් ඇත්තේ නීල වර්ණය. ඔහුත් දේවත්වයට පත් වෙන්නට ඇත්තේ මේ පාට නිසා විය යුතු ම යි. එසේ නම් මාත් නරි බල්ලෙකු නො , උත්තම දේවතාවෙක්.”

එසේ සිතූ නරිබල්ලා, තමන්ගේ වර්ගයා එක් තැනකට රැස් කළා. දේශනය දුන්නා දේවත්වයේ සිට:

සිත් එලා කන් යොමා මා කියන්නක් අසව්! මේ වනේ වසන වන දේවතාවිය විසින් සියලු ඖෂධ රසයන් එකට හනා කලතා ඇගේ ශ්‍රී හස්තයෙන් ම මාව මේ වන රජදහනේ රාජාධිරාජයා වශයෙන් අභිෂේක කරන ලදී. එබැවින් අද සිට මෙම ආරණ්‍යයේ සියලු ම කටයුතු සිදු කළ යුත්තේ රාජාධිරාජ වූ මගේ අණ නියෝගය අනුව ම යි. මගේ අණ නියෝග නො පිළිපදින වුනට දැඩි දඩුවම් දීමට මම නො පැකිළෙමි.

මෙම නියෝගය සවන් වැටුණු වහා ම සියලු නරියෝ එකා වන්ව අෂ්ටාංග සමන්නාගත නමස්කාරයෙන් නීලවර්ණ අධිරාජයාගෙන් ආශීර්වාද ලබාගත්හ. එපමණක් නොව “දේවයන් වහන්සේ කරන සෑම නියෝගයක් ම පිළිගන්නට සූදානම්.” යැයි ද ප්‍රතිඥා දුන්හ. මේ අයුරින් වන වැසී සෙසු සත්ව වර්ගයාගේ ද අසාහය නායකයා බවට නීලවර්ණ නරියා පත්විය.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll