149. හිතෝපදේශය | 03 | දේවත්වයට පත් නරියා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

සිය සෙනඟ උනුනුන් එක්වී සටන් කළ යුතුයි. ඔවු’නොවුන් රැක ගැනීම ද කළ යුතුය. කිසියම් දුබල සේනාවක් වේ නම්, බලඇණිය මැද ස්ථානගත කළ යුතුයි. රජු සිය පාබල සේනාව සටන් පෙරමුණේ ඉදිරියෙහි ස්ථාන ගත කළ යුතුයි. සතුරා වටලා පහරදීමත් සතුරු රාජ්‍යයට හිස ඔසවන්නට නො හැකි සේ අලාභ හානිත් කළ යුතුයි. තැනිතලා ප්‍රදේශයන්හි රථ සහ අශ්වයන්ගෙනුත්, වතුරේ නැව් ඔරු පාරුවලිනුත්, ගස් පඳුර ඇති ප්‍රදේශවල දුනුවලිනුත්, ගොඩබිමේදී  කඩු තෝමර ආයුධවලිනුත් සටන් කළ යුතුයි.

යුද පෙරමුණට යන්නේ බණ භාවනාවට නො වේ. තම ජයග්‍රහණය උදෙසා කළ හැකි කළ යුතු සියල්ල වහ වහා කළ යුතුයි. සතුරා ප්‍රයෝජනයට ගන්නා කෑම-වතුර-දර වැනි දේ විනාශ කර දැමිය යුතුයි. වැව්-පතස්-පොකුණුවල ජලය අපවිත්‍ර කළ යුතුයි. පවුරු අගල් බිඳදැමිය යුතුයි. රජුගේ චතුරාංගනී සේනාව අතුරෙන් හස්ති සේනාව ප්‍රධාන වේ. ඇතා සිය අඟ-පසඟ නිසා ආයුධ අටකින් සටන් කරන්නෙකු බව කියනු ලැබේ. සේනා බලය රඳා පවතින්නේ අශ්ව හමුදාව නිසයි. ඇයි ඒ, අශ්වයා වනාහී ජංගම ප්‍රාකාරයක් හා සමාන වන බැවිනි. ඒ නිසා අශ්ව හමුදාව වැඩිපුර ඇති රජු ගොඩබිම් සටනේ දී අනිවාර්යයෙන් ම දිනන්නේ ය.

ඔන්න ඔය කාරණය නිසා මෙන්න මෙහෙම කියා තිබෙනවා:

අශ්වයන් පිට නැගි සටන් කරන්නන් දෙවියන්ටවත් පරාජය කළ නො හැකිය. දුර සිටින සතුරන් පවා සියතට ගැනීමට අශ්වාරෝහකයෝ සමත් වෙති. පළමුවන පහරදීම, බලසෙන් රැකීම, මංමාවත් පිළිසකර කිරීම පා බලසේනාවට අයත් රාජකාරි බව මතක තබාගත යුත්තක්. ස්වභාවයෙන් ම සූර, අවි ආයුධ පිළිබඳව දැනුම ඇති, සටනෙහි ඇළුණ, දැඩි වෙහෙසක් විඳදරා ගත හැකි ක්ෂත්‍රිය කුලයෙන් පැවත එන බල සේනා ශ්‍රේෂ්ඨ බවයි යුද විරුවන් ගේ මතය.

දේවයන් වහන්ස! නරපතියන් කරන ගරු බුහුමන් නිසා ම රට වැස්සයෝ යුද පෙරමුණට යති. එම උද්‍යෝග කොපමණ ධන වියදම් කළත් යුද විරුවන්ගෙන් ලබාගැනීමට දුෂ්කරයි. සෙබල පිරිස සුළු විය හැකිය. එහෙත් ඔවුන් නිසි පුහුණුවක් ලබා ඇත්තේ නම් ජයග්‍රහණයට සෑහේ. බල සෙනග කියා ඔළුගෙඩි තිබුණාට පලක් නැත. පුහුණු සේනාවන්ගෙන් දුබල සේනා පරාජය කළ හැකියි. ප්‍රබල සේනා නන්නත්තාර කිරීම පහසුවෙන් කළ හැකියි.

භටයන් සිය හමුදා අත්හැර දමා යාමට පෙළඹෙන්නේ රාජ වරප්‍රසාද වලට භාජනය නො කිරීමෙනි. බුද්ධිමත් කාර්යශූර සේනාපතියෙකු නො සිටීමෙනි. එදිනෙදා අවශ්‍යතා නිසි පරිදි නො සැපයීමෙනි. දීමනා පමා කිරීමෙනි. රෝගාබාධ ගැන නො සැලකීමෙනි. ජයග්‍රහණය ලබා ගැනීමේ අසාවෙන් පෙළී, භටයන් පෙළන්නට පටන් ගත්තොත් සතුරන් පරාජය කිරීම හීනයකි. ඒ දීර්ඝ කාලයක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් භටයන්ට සැලකිය යුතු තරමේ විවේක කාලයක් නො දුන්නොත් එය සතුරාගේ විජයග්‍රහණයට හේතු වීමකි.

සතුරන් භේද කරන්නට නෑයා තරම් සුදුසු මන්ත්‍රයක් තවත් නැත. එබැවින් සතුරාගේ නෑයකු කෙසේ හෝ ඔවුන්ගේ ප්‍රබල උපදේශකයන් අතරට යොමු කළ යුතුයි. යුවරජ සමග නැත්නම් අගමැති සමග එක්වී සතුරාගේ රට තුළ විරෝධ ක්‍රියාමාර්ග ගෙන දෙදෙනාගෙන් එකෙකු ඔවුන්ගේ පක්ෂයට යා යුතුයි. යුද ශිල්ප හා රහස් එයින් හුවමාරු කරගත හැකි වේ. මිතුරු වෙසින් එන සතුරන් හඳුනා ගත් පසු ඔවුන් යුද බිමේ දී තමන් විසින් හෝ ඔවුන් ඔවුන් විසින් ම මරාගන්නට අවශ්‍ය භේද වැපිරිය යුතුයි. එපමණක් නො ව, ඔවුන්ගේ ගව පට්ටි මෙන් ම උපදේශකයන් ද සහමුලින් ඝාතනය කර දැමීම අනිවාර්ය වේ.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll