151. හිතෝපදේශය | 03 | රජා වෙනුවෙන් පුතා බිල්ලට

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

රජා වෙනුවෙන් පුතා බිල්ලට.

ශුද්‍රක රජු පෙර සිටි බොහෝ ම බලසම්පන්නයෙක්. එයාට තිබුණා මගුල් පොකුණක්. හැබෑම සුන්දරයි - අයස්කාන්තයි - මනස්කාන්තයි. ඔය පොකුණේ රජකම් කළේ කර්පූරකෙලී කියන හංසරාජයා. එයාට හිටියා දියණියන් දෙදෙනෙක්. එයින් කර්පූර මඤ්ජරී කියන හංසියගේ පෙම්වතා වීමේ භාග්‍යය මට ලැබුණා.

ඔන්න ඔය කාලෙ ම තමයි මහ රජුගේ පුතෙකු වන වීරවර කියන තරුණයා ආවේ ශුද්‍රක රාජවාසලට. එයා පිට දේශක්කාරයෙක්. වීරවර මාලිගාවේ දොරටුපාලකයා සමග මෙන්න මෙවැන්නක් කීවා:

“මං ඇවිල්ලා වැටුපක් ලැබෙන රස්සාවක් සොයා ගෙන යන කෙනෙක්–රාජ පුත්‍රයෙක්. කරුණාකර මට රජු බැහැදකින්නට අවස්ථාවක් ලබා දෙන්න.”

වීරවරගේ ඉල්ලීම ඇසූ දොරටුපල්ලා සුදුසු අවස්ථාවක් බලා රජු ඉදිරියට ඔහු ගෙන ගියා. ඔහු රජුට කළ යුතු ගරු සම්මාන පවත්වා මෙන්න මෙහෙම කීවා:

“දේවයන් වහන්ස, උතුමාණන්ගේ රාජ්‍යයෙහි රාජ්‍ය සේවකයෙකු ලෙස මාව පත් කරගෙන සුදුසු වැටුපක් ලබා දෙන මෙන් ආයාචනා කරනවා.”

“තමුන් බලාපොරොත්තු වෙන්නේ කොපමණ වැටුප් ප්‍රමාණයක් දැ”යි රජු විමසුවා.

“දිනපතා රන් කහවණු පන්සියයක්!”

“උඹට තියෙන අවි ආයුධ මොනවා ද?”

“දේවයන් වහන්ස, මට තියනවා ශක්තිසම්පන්න දෑතක්. ඒ වගේ ම සතුරන් පෙති ගහන්න පුළුවන් කඩුවක්.”

“ඒක ප්‍රමාණවත් මදි, රස්සා නෑ–යන්ට පුළුවන්.” කියා රජු ඔහුව පිටමං කළා. වීරවරත් රජු වැඳ පිට වී ගියා. මේ අතර එතැන සිටි ඇමතිවරුන් රජුට මෙවැන්නක් කියා සිටියා:

“දේවයන් වහන්ස, ඒ හාදයා දින හතරකට ගනිමු වැටුප් දී. ඒ දින හතර තුළ ඔහුගේ ක්‍රියාකලාපයන් අධීක්ෂණය කර බලමු. ගෙවන වැටුපේ තරමට කළ යුතු දේවල් කරනව ද? නැතිනම් බඩ පිරෙන්න කාලා හරකා වගේ නිදා ගන්නව ද? කියා.”

ඇමතියන් ගේ යෝජනාව පිළිගත්ත රජු ආපහු කැඳවූ වීරවරට බුලත් දී සේවයට බඳවා ගනු ලැබුවා. දිනකට සෑහෙන පරිදි රන් කහවණු පන්සියයක් ද දෙන ලදී. එම වැටුප් මුදල් වැය කරන පරිහරණය කරන අන්දම ගැන රජු සිටියේ සෙවිල්ලෙන්.

වැටුප් ලබාගත වීරවර ඉන් අඩක් දෙවියන්ට සහ බමුණන් ගේ ප්‍රයෝජනය උදෙසා වැය කළේය. ඉතිරි කොටසෙන් අඩක් දුගී මගී යාචකයන්ට දුන්නේය. ඉතිරි මුදල ආහාර පාන මෙන් ම ඇඳුම් පැළඳුම් ඇතුළු පුද්ගලික අවශ්‍යතා උදෙසා යොදන අයුරක් දැක ගන්නට ලැබිණි. මේ සියල්ල ඉටු කිරීමෙන් අනතුරු වීරවර අතෙහි කඩුව දරාගෙන රෑ දවල් දෙකේ ම රජවාසල් දොරටුවේ රැඳී සේවාකම් කරයි. යම් විටෙක රජු අණ කළොත් ‘දැන් පලයන් ගෙදර’ කියා; ඒ අනුව සිය නිවසට යයි.



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll