එසේ කල් යවමින් සිටිය දී අවතුදුස්වක දිනක මධ්‍යම රාත්‍රී යාමයේ
බැගෑපත් ලෙස කෙරෙන ඇඬීමක් අසන්නට ලැබුණි. එම ඇඬීම ඇසූ රජ එය විමසා දැන ගන්නට මෙසේ
ඇසීය:
“ඒයි, කවුද කවුද දොරටුවේ මුරට ඉන්නේ?”
“දේවයන් වහන්ස, මං වීරවර!”
“යනවා ගිහින් බලනවා මේ මහරෑ කවුද අඬන්නේ කියලා. හොයා ගන්නවා
තොරතුරු.” යි රජු නියෝග කළා.
“දේවයන් වහන්සේගේ නියෝගය මේ පිළිපදිනවා.” යි කී වීරවර හඬ ආ
දෙසට සවන් යොමු කරමින් කඩිනමින් ගියා.
වීරවර යන්නට හැර රජු මෙසේ සිතුවා:
“ඉදිකටුවකින් විද්ද හැකි අඳුරෙහි තමා මං ඒ රාජ පුත්‍රයා පිටත් කර
හැරියේ. ඒක නුසුදුසු දෙයක්. ඒ නිසා මාත් ඔහුගේ පසුපසින් ගොස් සිද්ධිය කුමක්දැයි
කියා සොයා බලන්නට ඕනෑ.”
’යි සිතා රජු ද කඩුව අතට ගෙන ඔහු පසුපස යන්නට පටන් ගත්තා. පෙරටුව ගිය
වීරවරට හමුවුණා කාන්තාවක්. ඇය රූපයෙන් මෙන්ම යොවුන් බවින් පිරිණියක වූ අතර සියලු
ආභරණවලින් සැරසී සිටියා. ඇය දුටු වීරවර මෙසේ තොරතුරු විමසුවා:
“නුඹ කවුද? ඇයි අඩන්නේ?”
“මං තමා ශුද්‍රක ගේ රාජ ලක්ෂ්මිය. බොහෝ කාලයක් ඔහුගේ
බලපරාක්‍රම නිසා සැප සම්පත් වින්දෙමි. දැන් ඉතින් මට වෙන තැනකට යන්න වෙලාව ඇවිත්.”
යැයි ඇය කීවා.
“මෙන්න මේක අහන්න. කොතනක හරි විපතක් කරදරයක් ඇති වුණොත්, ඒකෙන්
මිදෙන්න ක්‍රමයකුත් තියෙනවා. අන්න ඒ නිසා ඔබතුමිය පිටත නො ගොස් මේ රාජ්‍යයේ ම
සිටින්නට ඕනෑ.”
“එහෙම නම් ඔබ මා කියන්නත් කළ යුතුයි. ඔබ පුතා වන දෙතිස් ලකුණෙන් බබළන
ශක්තිධර, සර්වමංගල දේවියව බිලි දෙන්නට ඕන. අන්න එහෙම කළොත් මං බොහෝ
කාලයක් ශුද්‍රක සමග රැඳී ඉන්නම්.” යැයි කී රාජ ලක්ෂ්මිය නො පෙනී ගියාය.
එය ඇසූ වීරවර තමන්ගේ ගෙදර ගොස් නිදා සිටි පුතා සහ බිරිඳ නින්දෙන් අවදි කළා. ඔවුන් දෙදෙනා නිදිගැට හැර පියා නැගිට වීරවර වෙත ආවේ කූද්දන්නට හේතුව කුමක්දැයි දෑස්වලින් විමසමින්. රෑ පානේ හමු වූ ලක්ෂ්මිය ගේ තොරතුරු හා ඇගේ ඉල්ලීම ඔහු කියා සිටියේ අඹුවගේ සහ පුතාගේ මුහුණුවලට දෑස් යොමු කරමින්. සිද්ධිය ඇසූ ශක්තිධර සැබෑ සතුටකින් මෙසේ කියා සිටියා: