“දරුවා මං නුඹ ගැන පැහැදුණා. ඔය තරම් හදිසි වීමෙන් පලක් නෑ. දැන් ඔබේ
දිවියේ අවසන් වන තෙක් රාජ්‍යය කිසි ම උපද්‍රවයක් නැත.”
එය ඇසූ රජු දුර්ගා මාතාවට අටඟ පිහිටුවා වැඳ මෙසේ කීවේය:
“දේව මෑණියනි, මට දැන් මේ රාජ්‍යයන් වැඩක් නැහැ. මේ ගෙවන ජීවිතයෙන්
වත් කිසි ම ප්‍රයෝජනයක් නැහැ. මා ඔබතුමිය ගේ අනුකම්පාවට සුදුස්සෙකු නම්; මගේ ඉතිරි
ආයුෂයෙන් අඹුව හා දරුවා සහිත වීරවරට ජීවිත දානය ලබා දෙන සේක්වා! මගේ ඒ ප්‍රාර්ථනය
ඉෂ්ට සිද්ධ නො වන්නේ නම් මිය යාමයි මගේ එක ම යුතුකම.”
රජුගේ වදන් ඇසූ භාග්‍යවත් දුර්ගා මෑණියෝ මෙසේ කීය:
“පුතේ, ඔබ සතු උදාර ගති නිසාත්, සේවකයන් කෙරෙහි ඇති ලැදිකම නිසාත්,
ඔබේ ගතිගුණ ගැන මගේ සිතෙහි ඇති වුණේ අසීමිත ආදරයක්. යන්න ඔබ සැම දා ජයග්‍රාහකයෙකු
ම විය යුතුයි. ඔබ පිරිවර සහිතව යහතින් ජීවත් වේවා!”
‘යි ආසිරි පැතූ දුර්ගා මාතාව නො පෙනී ගියාය. වීරවර හා පුතා
මෙන් ම අඹුව ද ප්‍රාණය ලැබ සිය නිවස වෙත ගියහ. රජු ද ඔවුන් නො දැකීමෙන් වික්ෂිප්තව
වහා අන්තඃපුරයට ගියේ ය.
අළුයම් කාලයෙහි ම දොරටුව මුර කරමින් සිටි වීරවර දුටු රජු වහා
ම ඔහු තමන් වත ගෙන්වා ගත්තේය. එයින් නො නැවතුණු ඔහු තොරතුරු විමසුවේ දැඩි
ළෙන්ගතුකමකිනි. අසන ලද ප්‍රශ්නවලට වීර මෙසේ පිළිතුරු දුනි:
“දේවයන් වහන්ස උතුමාණන්ගේ නියෝගය අනුව හැඬූ ස්ත්‍රිය සොයාගෙන මං
ගියා. පුදුමය කියන්නේ දේවයිනි මං දුටුවා පමණයි ඇය නො පෙනී ගියා. ඒ ගැන වාර්තා
කරන්නට තරම් දෙයක් නෑ. ඒකයි මං පුරුදු පරිදි මුර රාජකාරියට ආවේ.”
වීරවරගේ එම වචනය ඇසූ රජු මෙසේ සිතන්නට විය:
“විරවර කියන්නේ මහා පුරුෂයෙක්. මෙයට සැලකිය යුත්තේ, පැසසිය යුත්තේ
කෙසේ ද කියා මට තේරුමක් නෑ. ඒ මෙන්න මේ කාරණය නිසා:
ආශා තණ්හා නැත්තා නිතර ම මුවෙන් පිට කරන්නේ ප්‍රිය වචන. සමර්ථයා තම
සමත්කම් හුවා දක්වන්නේ හෝ ප්‍රදර්ශනය කරන්නේ නැත. දෙන පුද්ගලයා නො දිය යුත්තන්ට
සිය ධනය පරිත්‍යාග කරන්නේ නැත. තැනට සුදුසු ලෙස කතා කරන්නා රළු බස් කියන්නේ නැත.
මේවා තමා මහා පුරුෂ ලක්ෂණ. ඒවා සියල්ලක් ම වීරවරගේ සිරුර පුරා පැතිරී පවතී. මොහු
ගැන සැබෑ අනාවරණයක් කිරීමෙන් ගරු කළ යුතුයි.”
එසේ සිතූ රජු සිය අමාත්‍ය මණ්ඩලය, පුරෝහිතයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානයන්, රාජ්‍ය සේවා අංශ ප්‍රධානයන්, වීරවරගෙ අඹුව සහ දරුවා ද ඇතුළු අන්තඃපුරයේ සිටින කාන්තාවන් ද ගෙන්වා, මහා රාජ සභාවක් රැස් කළේය.